පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි (Perpetual Treasuries Limited) ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස 6කට දීර්ග කර තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මේ පිළිබඳව දන්වා ඊයේ (5) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.
2015 වසරේ දී යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව එම වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී. එම වෙන්දේසියේදී එවකට මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අදාළ බැඳුම්කර තොගය මිලදී ගන්නා ලදී.
එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් තම බෑණා අර්ජුන් ඇලෝසියස්ට වෙන්දේසියේදී ඉදිරිපත් වන මිල ගණන් පිළිබඳ රහස්‍ය තොරතුරු කලින් ලබාදීම නිසා එම බැඳුම්කර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මිලදී ගැනීමට හැකිවූ බවටත් චෝදනා එල්ල වී තිබිණි. එලෙස අර්ජුන් ඇලෝසියස්ලා විසින් රුපියල් බිලියන 10 ක පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගැනීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවට ද විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල විය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ විමර්ශන කොමිසමක් පත් කළ අතර එම කොමිසම් වාර්තාවේ කරුණු වලට අනුව යහපාලන රජය සමයේ සිදු කරන ලද බැඳුම්කර මිලදී ගැනීමේ සිද්ධි 3ක් හෙළි විය. විමර්ශනයේ තොරතුරු පදනම් කරගනිමින් එම සිද්ධි තුනට ආදාලව නඩු 3ක් පවරා ඇත. ඉන් එකක් වන්නේ 2016 මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 35 කට ආසන්න බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පවරන ලද නඩුවයි. නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ දී පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත.
ඒඅනුව එම නඩුවේ විත්තිකරුවන් ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු දස දෙනෙකු නම් කර ඇත. පසුව රවී කරුණානායක විසින් තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපති ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බල රහිත කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය විසින් රවී කරුණානායකට එරෙහිව අදාළ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව තීන්දු කරන ලදී.
