ජූනි 30දා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නම් තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය සැක කරනවා.
මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (3) පවුලේ සුසාන භූමියේදී සිදු කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු වලින් පසුව, ගම්වාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත.
ඒ මොහොත වන විටත් පොලිස් නිළධාරීන් 150කට ආසන්න පිරිසක් යොදවා තිබු බව වාර්තා වේ.
ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය ද වගකිව යුතු බව පවසමින් ගම්වාසීන් හා ඥාතීන් ගල් ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වන අතර පොලිස් කැරලි මර්දන ඒකක යොදවා ගම්වාසීන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත. එමෙන්ම, ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුට අයත් ත්‍රීරෝද රථයකටත් පිරිසක් ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.
මෙහිදී මතුවන ප්‍රශ්න කිහිපයක් වේ. එනම් මත් ද්‍රව්‍ය පිළිබඳව ඔත්තුවක් දුන්නේ යන හේතුව මත මෙම ඝාතනය සිදු වී ඇති සැක කරයි. පොලීසිය මේ සඳහා කඳුළු ගෑස් ගහන කෝකටත් තෛලය ක්‍රමයෙන් ඔබ්බට යා යුතු නොවේද? “නවත්තපියව් යකෝ කියා” පොලීසිය කෑ ගැහුවාට මිනිස්සුගේ විරෝධය නැවැත්විය නොහැකි බව පොලිසිය තේරුම් ගන්නේ කවදාද? ගමේ තරුණයෙක් වෙඩි තබා මරා දමා ඇත. එවැනි තත්වයක් තුළ මිනිසුන්ට ඇතිවන අනාරක්ෂිත බාවය සහ ආවේගය තේරුම් ගත හැකිය.
කහවත්තට ඝාතනයන් යනු අලුත් දෙයක් නොවේ. කහවත්ත් කියූ සැනින් මතකයට එන්නේ කොටකෙතන් ඝාතන රැල්ලයි. 2008 වසරේ දී වැඩිහිටි කාන්තාවන් ඝාතනය කරමින් සිදු වූ මෙම ඝාතන රැල්ල වරාපිටිය, නිලඳුර, ඕපාත සහ දිඹුල්වල ප්‍රදේශ භීතියෙන් වසා ගත්තේය. 2008න් නොනැවතී 2012 වසරේදීත් 19 හැවිරිදි දියණිය සහ 52 හැවිරිදි මව සහාසික ලෙස මරා දමා තිබිණි. 2015 අප්‍රේල් මාසයේ කාන්තාවක් අතුරුදන්ව ඝාතනය වූ අතර කොටකෙතන ඝාතන රැල්ල ජීවිත 17ක් බිලි ගෙන තිබූ අතර 18 වැනියා ලෙස චන්‍ද්‍රා මල්කාන්ති හෙවත් ‘‘කාන්ති අක්කා’’නම් කාන්තාවක් ඝාතන ලැයිස්තුවට එක් විය..
කුරුවිට ප්‍රදේශයේද තරුණියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඇය රැකියාව නිම වී නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනය කර ඇත. හොරු ඇල්ලීමෙන් පමණක් සමාජය වෙනස් කල හැකිය යන මරි මෝඩ අදහසින් ඔබ්බට සිතීම ආණ්ඩුව කල යුතුව ඇත. මාලිමාවට ඡන්දය දුන් පමණින් මිනිසුන් හෝ සමාජයේ පැල පදියම් වී ඇති මිලේච්ඡ්ත්වයට අත්පුඩි ගැසීම සහ තමාට නොරුස්සන අනෙකා මරාදැමීමේ නරුම සිතීම සමාජයෙන් ඉවත්ව නොමැත. මේ සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සමාජ් ආර්ථික සහ දේශපාලනික ගැඹුරු මානයන්ගේ සිදු නොකරන තාක් කල් දේශබන්දු සහ ටිරන්ලාගේ පොලීසිය මේ ආකාරයට මහජන සාමය ආරක්ෂා කරනු ඇත. මහජනතාව පාතාලය වනු ඇත.
පාතාල සාමාජිකයන්, කුඩු කාරයන් මරන්න අවශ්‍ය යයි සමාජ මතය හදා හෝ වී ගත්තෝ අවියෙන්ම නැසෙයි යන හිත නිවන කතා කියා මේ ගැටළු විසඳිය හැකිද? තව සති කිහිපයකින් මේ කතාව මාධ්‍යයෙන්ද අතුරුදන් වනු ඇත. ඔවුන් තවත් කුණු රහ තියන ලේ පුසුඹ දැනෙන දරුණු ගනයේ අපරාධයක් ප්‍රේක්ෂකයාට දෙනු ඇත. ප්‍රේක්ෂකයා සුසුම් හෙලා සත පහකට වැඩක් නැති ආගමික වදනකින් සිද්ධිය ස්කිප් කරනු ඇත. අවුරුදු ගාණක් තමන්ට වත් රකින්න බැරි මෙලෝ තේරුමක් නැති බණකින් හෝ රිදම් එකට කියන කවි බණකින් මෙම ඝාතන ඊළඟ බවයට සාධාරණිකරණය කරනු ඇත. රහසින් පව් කරන සාමාන්‍ය ජනතාව සහ එළිපිට පව් කරන පාලකයන් ඒ බන කියන පුද්ගලයාට හිත තැම්පත් කරගෙන වඳිනු ඇත.
මේ සිද්ධිය කවර ලෙසකට සිදු වුවත් තැන් තැන් වල පාරක් පාරක් ගානේ මිනිසුන් මරා දමමින් ඇත. මේ රටේ තරුණ තරුණියන්ට මෙවන් ඉරණම් අත්වෙද්දී ලස්සනර රටක් හදන්නේ කෙසේද? මේ රටේ පොලිසිය සම්බන්ධයෙන් අනේකවිධ චෝදනා ඇත. අනුර කුමාර දිසානායකගේ රජය යටතේ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම දෛනිකව සිදු වන බව පෙනුනත් මේ ඝාතන වල අඩුවක් පෙනෙන්ට නැත. දුෂණ වලට හිරේ දාන එක කරන ගමන්ම මේ සිදු ඝාතන අවසන් කිරීමට කටයුතු කළ යුතු වේ. එසේ නොවේනම් මේ පොලීසිය වැඩක් නැහැ කියන්නා සේම, මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේමයි යනුවෙන් මිනිසුන් කියනු ඇත.
