තරිඳු උඩුවරගෙදර
හිටපු කථානායක චමල් රාජපක්ෂ විසින් අරගලයේදී විනාශ වුණායැයි වන්දි ලබාගත් ඉඩමේ සැබෑ හිමිකරු සොයාගැනීමට නොහැකි වීමෙන්, එම වංචාව පිළිබඳ විමර්ශනවලට බාධා එල්ල වී තිබේ.
එම පුද්ගලයාව ප්‍රශ්න කොට විමර්ශන සිදු කොට චමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර තිබුණත්, එය සිදු කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිළුමිණ පුවත්පතට එම සිදුවීම ප්‍රවෘත්තියක් ලෙස ලබා දී, එය ප්‍රචාරය කිරීම මෙයට හේතු වී ඇතැයි අනුමාන කෙරේ. ජුනි 07 සිළුමිණෙන් මෙම පුවත ප්‍රථමයෙන් ප්‍රසිද්ධ කර තිබුණි.
ඒ හේතුවෙන් එම සිදුවීම පිළිබඳ විමර්ශනවලට බලපෑම් එල්ල වී ඇති අතර, විමර්ශන ඉදිරියට ගෙනයෑම සඳහා අදාල ඉඩමේ සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට සිදුව තිබේ. එහෙත්, ඔහු සොයාගැනීමට නොහැකි වීමෙන් එය ඇණහිට තිබේ. දින කිහිපයක් ඇතුළත චමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන තිබුණද, උක්ත පසුබිමෙහි එම කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
මෙම විමර්ශනය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දී තිබුණු පැමිණිල්ලකි.
සිළුමිණ පුවත්පත මෙම සිදුවීම පිළිබඳ මුල් පුවත පහත දැක්වේ.
//හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව සිළුමිණට වාර්තා වේ.
2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කිරීමට නියමිතය. තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.
අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.
අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝකගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.
කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.
මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.//
