එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරි වෝල්කර් ටකර් ජුනි 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියා. ජුනි 26 වැනිදා ලංකාවෙන් පිටව යෑමට පෙර ඔහු කළ අදහස් දැක්වීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලීමකුත් කළා. දිගුකාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් කඩිනම් සමාලෝචනයකින් පස්සේ නිදහස් කරන්න කියලා ඔහු ඉල්ලා සිටියා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කරන්න කියලාත් ඔහු ඉල්ලුවා. ජාත්‍යන්තර මානව හිමිකම් නීති රාමුවට අනුකුල වන විදියට මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන්න කියලාත් ඔහු ඉල්ලීම් සිදු කළා.
ඔහු ලංකවේ සිටි අතරවාරයේ ජනාධීපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විදේශ අමාත්‍ය විජිත හේරත් ඇතුළු නායකයන්ව මුණගැසුණා. ඔහු ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ව කොළඹදී මුණගැසුණා. ඒත් ඊටත් වඩා වැදගත් දේ තමයි, ඔහු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළට ගියා. ඒ වගේම ත්‍රිකුණාමලයටත් ගිහින් ක්‍රියාකාරීන්ව මුණගැහුණා.
ලංකාවේදී ඔහු මානව හිමිකම් ක්‍රියාකාරීන් එක්ක සම්බන්ධ වූ වැඩසටහනකදී ඔහු ඉදිරිපිට සුවිශේෂී කතාවක් සිදුකළ තරුණ ක්‍රියාකාරිනියක් තමයි මෙලනි ගුණතිලක. ඇය මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ඉල්ලුවේ සමහර කෙනෙක්ට ‘උමතුවක්‘ කියලා හිතන්න ඉඩ තියෙන ඉල්ලීමක්. සරලවම කීවොත් ඇය ඉල්ලුවේ සිස්ටම් එක වෙනස් කරන්න කියලයි.
මේ මෙලනිගේ කතාවේ සරල සිංහල පරිවර්තනයක්.
‘අපගේ ජීවිත මේ ගලා යන්නේ, පාරිසරික පද්ධතිවල කඩාවැටීමක් හරහා පමණක් නොවෙයි. දේශපාලනික මෙන්ම සදාචාරාත්මක වශයෙන් ගෝලීය වටිනාකම්වල කඩා වැටීමක් හරහායි.
ලෝකය බලා සිටියදී, යුධ අපරාධවලට දඬුවම් නැහැ. පරිසර විනාශය වර්ධනය ලෙස නාමකරණය කරලා. බලය ඇත්තන් යුද්ධයට අනුබල සපයන අතරේ සාමය ගැන කතා කරනවා. ණය ගැඹුරේ ගිලෙමින් වර්ධනය ගැන කතා කරනවා.
එක්සත් ජාතීන් අයිතිවාසිකම් ගැන කතා කරද්දී, එහි බලවත්ම අංගය වන ආරක්ෂක කවුන්සිලය දිගින් දිගටම යුද්ධය, අත්පත් කරගැනීම් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ඉඩ දෙනවා. නිශේධ බලයෙන්, යෝජනා අවහිර කරමින් වගවීම ප්‍රතික්ෂේප කරනවා.
ගාසා තීරයේ සංහාරය මානුෂීය අර්බුදයක් පමණක් නොවේ. රැකගත යුත්තේ කාගේ ජීවිතද කියන එක ගැන ගෝලීය ප්‍රමිතිය යළි සැකසීමක්.
ස්වාභාවික සම්පත් විනාශ කරලා. මිලිටරිමය වායු විමෝචනය දේශගුණ ප්රතිපත්තිවලින් හැලී ගිහින්.
ස්වභාවධර්මය සංරක්ෂණය මුවාවෙන් එයත්, භාණ්ඩකරණය කරලා. කාබන් වෙළඳපළවල් සහ මහා පරිමාණ හරිත ව්‍යපෘති වෙනුවෙන් මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් ජන කණ්ඩායම් අවතැන් කර ඇත්තේ විනාශය නිසා ගෙවන්නට සිදු වන මිල නොතකමින්.
ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ගෝලීය ප්‍රවණතාවක්. යටත් විජිත පාලකයන් විසින් කෂි පද්ධති බිඳ දමා වතු බිහි කළා. ඒ ආකෘතීන් යළි බිඳදැම්මේ නෑ. එය සංවර්ධනය විදියට නම් කළා.
ඒ උරුමය අදටත් පවතිනවා. ඉඩම් නැති ගොවියන්, අවතැන් වූ ජන ප්‍රජාවන් සහ කාන්තාවන් අදටත් ඉඩම් අයිතිය අහිමිව සිටිනවා. උතුරු නැගෙනහිර මිලිටරිකරණය වූ ඉඩම් අත්පත් කරගැනීම් ඉදිරියට යනවා. මෑතකාලීන ආර්ථික පරිවර්තන පනතෙන් මේ අසමානතාවන් තවත් ගැඹුරට වර්ධනය කිරීමේ අවදානම මතු කරනවා. ඍජු විදේශ ආයෝජනවලට මුල් තැන දෙමින්, අපනයන මුල් කරගත් වර්ධනයක් ගැන කියන්නේ ජන අයිතීන් සහ පාරිසරික ආරක්ෂණයන් නොතකමිනුයි.
මේ ප්රතිඵලයන් අහඹු සිදුවීම් නෙවෙයි. ඒවා ජනතාව සහ මහපොළොවට ඉහළින් ලාභය තැබීමේ ප්රතිඵලයි. දශක ගණනක් තිස්සේ ගෝලීය මූල්‍ය ආයතන අපනයන් මුල් කරගත් කෘෂි ව්‍යාපාර, ඉඩම් ඒකාබද්ධ කිරීම සහ පෞද්ගලික ආයෝජන කලාප ප්‍රවර්ධනය කළා. ඒවා ගෝලීය වෙළඳපළවල්වල සේවය කරද්දී, ජන ප්‍රජාවන් අසාර්ථක වුණා. ග්‍රාමීය දුප්පත්කමත්, වතු කර්මාන්තවල අනවරත පැවැත්මත් මෙයට සජීවී උදාහරණ.
2024 දී රජය, මිලියන 2.9ක් වූ ශ්‍රමිකයන්ගේ විශ්‍රාමික ඉතුරුම්වලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. එයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැම්මා. එයට එරෙහි නිල පැමිණිල්ලක් දැන් ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තිබෙනවා. මම මහ කොමසාරිස්වරයාට සිහිපත් කරනවා, එයට නිසි අවධානය යොමු කරන ලෙස.
මැතිවරණයට පෙර, ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ගිවිසුමක් කඩිමුඩියේ ඇති කරගත්තා. ඒ ප්රජාතන්ත්රවාදය සහ ස්වෛරීත්වය හෑල්ලුවට ලක් කරමිනුයි. එයින් මානව හිමිකම්වලට සිදුවන බලපෑම තක්සේරු කළේ නැහැ. මේ ණය ගිවිසුමේදී නැවත ණය ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සම්බන්ධ කර තිබෙනවා. ඒ අනුව අප ශක්තිමත් වන තරමට ගෙවිය ප්‍රමාණය වැඩිවෙනවා. එමගින් අත්‍යවශ්‍ය අරමුදල් සෞඛ්‍යයෙන්, අධ්‍යාපනයෙන් සහ දේශගුණයට ප්‍රතිචාර දැක්වීමෙන් ඉවත් කොට ණය හිමියන්ට දෙනවා.
මෙය ප්රතිපත්තිවල අසමර්ථ වීමක් නෙවෙයි. මෙය සාර්ථකත්වයක්. ඒ ප්‍රතිපත්ති සකස් කර තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද? ඒ පැත්තෙන් සාර්ථකයි.
මේවා හුදෙකලා අර්බුද ලෙස අප නොසැලකිය යුතුයි. මේ කොල්ලකෑම, අසමානත්මතාව හා විනිර්මුක්තිය මත ගෝලීය වශයෙන් නිර්මාණය කළ පාලන ක්රමයක ප්‍රතිඵල.
අපි මෙම කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නේ හානිය සිදු කිරීමට පෙර ක්‍රියා කරන ලෙසත්, සියලු ණය සහ දේශගුණික ගනුදෙනු සඳහා මානව හිමිකම් තක්සේරු කිරීම් අනිවාර්ය කරන ලෙසත්, මූල්‍ය ආයතන සහ පුද්ගලික ණය හිමියන් වගකිව යුතු බවට පත් කරන ලෙසත්, සහ මිනිසුන් හා පරිසර පද්ධති බිලි දෙන බොරු දේශගුණික විසඳුම් ප්‍රතික්ෂේප කරන ලෙසත්. අවිනිශ්චිත වර්ධනයක් මත ගොඩනැගුණු ආර්ථිකයක් සැමවිටම ජීවය බිලි දෙනු ඇති. නිමක් නැති වර්ධනය හා ලාභය වෙනුවට, මිනිසුන්ගේ සහ පෘථිවියේ යහපැවැත්ම මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් වෙත ලෝකය රැගෙන යෑමට මෙම කවුන්සිලය උපකාර කරනු ඇතැයි අපි තරයේ ඉල්ලා සිටිනවා.‘
