උපරිම සිල්ලර මිලකට යටත්ව ලුණු නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ වී තිබෙනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විස්තර කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසා ඇත.
පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවඑම සංගමය නිවේදනයේ සඳහන් කර ඇත.
කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180
ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240
ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120
එම නිවේදනයේ ඔවුන් වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත. ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හැරීම සඳහා දින කීපයක් ගත විය හැකි අතර, ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට අපගේ නිෂ්පාදකයන් විසින් ඇසුරුම් කළ ලුණු, මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ.
නිත්‍යානකූල නොවන ඇසුරුම් සහිතව විදේශ රටවල පැකැටි කළ ලුණු වෙළඳ පොළෙහි දක්නට ලැබෙන අතර, එම ඇසුරුම් දේශීය ඇසුරුම් රෙගුලාසි උල්ලංඝනය කර ඇති අතර, ඒවා මිලදී ගැනීමේ දී හා විකිණීමේ දී ඒවායේ නෛතිකභාවය පිලිබද අවධානය යොමු කරන ලෙස වෙළඳ හා පාරිභෝගික ප්‍රජාවට පෙන්වා දෙමු.
කෙසේ වෙතත් විශේෂ නිෂ්පාදන පිරිවිතරයන්ට අනුව ශ්‍රී ලංකාවේ නිපදවා SLS සහතිකය සමඟ වෙළඳ පොළට නිකුත් කරන ලුණු නිෂ්පාදන (PVD ඇතුලු) සඳහා ඉහත සඳහන් උපරිම මිල අදාල නොවන අතර, පිරිවැය පදනම් කරගත් මිලකට පාරිභෝගික රුචිය අනුව මිලදී ගැනීම සඳහා වෙළඳ පොළට නිකුත් කරනු ඇත.
පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ඉතා වගකීමෙන් යුක්තව ස්වේජ්ජා මිල පාලනයකට යටත්ව, නිකුත් කරන භාණ්ඩ මිලදී ගැනීම තුළින් විචක්ෂණ ශීලී ලෙස කටයුතු කර වෙළඳ පොළ පාලනය සඳහා සහයෝගය දක්වන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.
