ජිමුත් ඉඳුසර රත්නායක
ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය, සත්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4 කට වැඩි අගයක් ගනු ලබන බව වෙරිටේ රිසර්ච් විසින් සිදුකළ නවතම අනාවරණයකින් පෙන්වා දෙනු ලබනවා.
2025 මැයි මාසයේ රටේ නිල සංචිත ප්‍රමාණය එම වාර්තාවලින් පෙන්වා දුන්නේ ඩොලර් බිලියන 6.3ක් ලෙස වුවත් එම සංචිත ප්‍රමාණය වාර්තා කිරීම අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත්ව සිදුකෙරුණේ නම් එහි අගය ඩොලර් බිලියන 4.9 ක් විය යුතුව තිබූ බවයි වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ.
චීන මහජන බැංකුවෙන් ලැබුණු රෙන්මින්බී බිලියන 10ක මුදල් හුවමාරුවක් එනම් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 14 ක් සංචිතවලට එකතු කර වාර්තා පළ කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත්, මුදල් හුවමාරුව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සංචිත වත්කමක් ලෙස සැලකීමට නොහැකි බවත් ඔවුන් සඳහන් කළා.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගෙවුම් ශේෂ අත්පොතේ 6 වන සංස්කරණයෙන් සංචිත වත්කම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ ප්‍රමිතිය හඳුන්වා දී තිබෙනවා.
එම අත්පොතට අනුව සංචිත වත්කමක් ද්‍රවශීල එනම් කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබාගත හැකි විය යුතු අතර, මෙම ප්‍රමිතිය අනුව ක්‍රියා කිරීමට චීන මහජන බැංකුවෙන් ලැබුණු මුදල් හුවමාරුව අසමත් බවත්, එම මුදල් හුවමාරුව භාවිතයට ගැනීම සඳහා කොන්දේසි පනවා තිබීම එයට හේතුව බවත් සඳහන් වනවා.
කෙසේ වෙතත්, මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ඉක්මවා ගොස් ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද පසුගිය අප්‍රේල් 30 වන දා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.
එහි දී එළැඹෙන වසරේදී එම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
නිසි ප්‍රමිතියකට අනුව මෙවැනි ගණනය කිරීම් නොකරමින් හා ඒවායේ සත්‍ය අසත්‍යතාව නොපිරික්සමින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම හරහා මහජනතාව මුළා කිරීමේ දේශපාලනික ප්රයත්න වෙනුවට මෙහි සැබෑම සත්‍ය අසත්‍යතාව පිරික්සා කරුණු සහිතව ඉදිරිපත් කිරීම රජයේ වගකීමයි.
