රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සතොස පැය 24ම අරින්නැයි ඉල්ලා කටුනායක අත්සන් ව්‍යාපාරයක්…

කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් පිටත පැය 24 පුරාම විවෘතව තැබෙන සතොස වෙළඳ සැලක් සහ නොමිලේ ප්‍රථිකාර ලබාගත හැකි රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉල්ලා වාණිජ හා කාර්මික සේවක සංගමයේ මගින් සංවිධානය කරන ලද උද්ගෝෂණය, අත් පත්‍රිකා බෙදීම සහ අත්සන් ව්‍යාපාරය දින කිහිපයක් පුරා ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ කටුනායක සංවිධායක ශාමලී අමරසිංහ රජයෙන් ඉල්ලා සිටියේ නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවකයින් සඳහා නොමිලේ ප්‍රතිකාර ගත හැකි නව වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ ඇවරියවත්ත සතොස වෙළඳ සැල පැය 24 පුරා විවෘතව තැබීමට කටයුතු කරන ලෙසයි.

වාණිජ හා කාර්මික සේවක සංගමයේ භාණ්ඩාගාරික විජේපාල වීරකෝන් ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සතොස ඇවරියවත්ත ශාඛාව රාත්‍රී 7 පමණ වන විට වසන බැවින් ඉන් අනතුරුව සේවකයන් හට මිලදී ගැනීම් සඳහා තැනක් නොමැති බවයි. එම නිසා පැය 24 විවෘතව පවතින වෙළඳසැලක් පැවතීම රාත්‍රී කාලයේ සහ උදෑසනම සේවා මුරයන්හි සේවකයන්ට ඉතා ප්‍රයෝජනවත් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

එසේම සියලු සේවකයන්ට ප්‍රතිකාර ලබා ගත හැකි රජයේ වෛද්‍ය මධ්‍යස්ථානායක් නොමැති කමින් සේවකයින් දැඩි ලෙස පිඩා විඳින බව විජේපාල වීරකෝන් පවසයි. දැනට වෙළඳ කලාපය තුළ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇතත් ඉන් ප්‍රතිකාර ගැනීමේදී වෙනස් කොට සැලකීමක් සිදු වන බව ඔහු පවසයි. මක් නිසාද යත් එම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවසරය ඇත්තේ වෙළඳ කලාපයේ ආයතන වල ස්ථිර සේවකයන්ට පමණක් වන අතර මෑන්පවර් වැනි ස්ථිර නොවන සේවකයන් සඳහා ප්‍රතිකාර සඳහා අවසර නොමැත. ඔවුන්ට ප්‍රතිකාර ගැනීම සඳහා මීගමුව හෝ සීදුව රෝහලට යාමට සිදු වීමෙන් කම්කරුවන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දේ. මෙවැනි වාතාවරණයක් තුළ උක්ත ගැටළු විසඳීම සඳහා රජය සහ වගකිය යුතු බලධාරීන් කඩිනමින් මැදිහත් වීමට පියවර ගන්නා ලෙස ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading