රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළ පිළිමතලාවේ (Shade of procare pvt ltd.) ප්‍රෝකෙයාර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය විසින් අද (19) මෙම නියෝගය ලබා දුන්නා.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පිරිමිඩාකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අකිල නිලන්ත නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ප්රොකෙයාර් සමාගමේ සභාපතිවරයා හෙට දිනයේ දී රහස් පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බැවින්,ඔහුද අත්අඩංගුවට ගෙන හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ දිනක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට දෙස් විදෙස් ඔන්ලයින් රැකියා ,රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද පැවසුවා.
රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ඔන්ලයින් ඔස්සේ පුහුණු පාඨමාලාවක් පවත්වන බවට ප්‍රචාරය කර ඇති සැකකාර සමාගම ,එම පුහුණුව සඳහා රුපියල් විසිඑක්දහසක මුදලක් රැකියා අපේක්ෂකයෙකුගෙන් ලබා ගනිමින් මෙසේ මුදල් වංචා කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියා.
සැකකාර සමාගම කොළඹ බීඑම් අයි සී එච් පරිශ්‍රෙය් රැකියා වෙළඳපොලක් සංවිධානය කරමින් පවතින බවද,අදාළ සමාගම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට දැන්වීම් පළකර ඇති බවද සඳහන් කළා.
මෙම පැමිණිල්ල යළි හෙට කැඳවීමට නියමිතයි.
