එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් එක් එක් රටවලට අදාළව ප්රකාශයට පත් කරන ලද විශේෂ තීරුබදු අනුපාත ක්රියාත්මක වීම සඳහා දින 90ක විරාමයක් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්රී ලංකාවට පැනවූ සීයට 44ක බද්ද ඇතුළු, රටවල් ගණනාවකට පැනවූ අධික බදු ක්රියාත්මක වනු ඇත්තේ මාස තුනකට හෙවත් දින 90කට පසුයි.
එහෙත් චීනය සඳහා ඇති තීරුබදු සීයට 125 දක්වා වැඩි කර තිබෙනවා.
එම දින 90ක කාලය තුළ ඒ ඒ රටවල්වලට ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉඩ ලබා දී තිබෙනවා. මෙය ලොව රටවල් ගණනාවකින් පැමිණි ඉල්ලීම් මත ක්රියාත්මක කර ඇති තීන්දුවක්.
ඒ අනුව, සීයට 10ක අවම තීරු බදු පදනමක් ශ්රී ලංකාව ඇතුළු රටවල්වලට ක්රියාත්මක වනු ඇති. ශ්රී ලංකාව විසින් ඇමෙරිකාවට සිදු කරන අපනයන සඳහා සීයට 11 පමණ සිට සීයට 38 දක්වා බදු ඒ ඒ භාණ්ඩය අනුව මීට පෙර ක්රියාත්මක වී තිබුණා. මීට පෙර පැවති එම බදු එලෙසම දින 90ක් දක්වා ක්රියාත්මක වනු ඇති.
ඒ අනුව මෙය චීනය සහ ඇමෙරිකාව අතර වෙළඳ තරගයක් බවට පරිවර්තනය වී තිබෙනවා. චීනය ඇමෙරිකානු භාණ්ඩවලට සීයට 84ක බද්දක් පනවා තිබුණා.
කෙසේ වෙතත්, උක්ත බදු අනුපාත මාස තුනකට පසු ක්රියාත්මක වීමේ අවදානම තවමත් පවතිනවා. ඒ අනුව, ශ්රී ලංකාව ඇතුළු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්රී ලංකාව ප්රකාශ කර තිබුණේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා අරම්භ කර තිබෙන බවත්, රටවල් දෙක අතර වෙළඳ අනුපාතය පහළ දැමීමට උත්සාහ කරන බවත්.
