කොළඹ වරායේ ශ්‍රී ලංකාවේ ජනතාව සතු කොටසක් වන, නැගෙනහිර වරාය බහාලුම් පර්යාන්තය පෞද්ගලික අංශයට පවරන්නේ නැති බවත්, පවරන්නට බැරි බවත් වරාය අධිකරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විවිධ පාර්ශ්ව එහි මෙහෙයුම් කටයුතු සාකච්ඡා කිරීමට පැමිණ ඇති නමුත්, එවැන්නක් සිදු නොවන බවය.
නැගෙනහිර පර්යන්තය මෙහෙයවමින් වරාය අධිකාරිය සමඟ හවුලේ කටයුතු කිරීමට ලෝකයේ ප්‍රධාන නැව් සමාගම් කැමැත්ත පළ කර ඇතත්, අදානි සහ ජෝන් කීල්ස් සමාගම් සමග කොළඹ වරාය බටහිර පර්යන්තය වෙනුවෙන් ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලින් එවැනි කටයුතුවලට බාධා එල්ලවෙන බවත් ඒ අනුව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු පුද්ගලික අංශයට හෝ වෙනත් සමාගමකට පැවරීම අත්‍යවශ්‍ය කරුණක් නොවුණත්, අදානි සමාගමේ ගිවිසුම්වල ඇති මෙරට වරාය අධිකාරියේ ස්වාධීනත්වය වළක්වාලන කොන්දේසි අතරින් එකක් ලෙස මෙය සැලකිය හැක. එමෙන්ම බටහිර පර්යන්තයේ උපරිම ලාභය වෙනුවෙන් නැගෙනහිර පර්යන්තය ඇතුළු කොළඹ වරායේ අනෙක් කොටස්වල මෙහෙයුම්වලට අදානි සමාගම ගිවිසුම් හරහා හෝ වෙනත් ක්‍රම හරහා බලපෑම් කිරීමට ඇති ඉඩකඩ එයින් පෙනී යයි.
එම ගිවිසුම මගින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට කොළඹ වරායෙ අනෙකුත් කොටසක කටයුතු කිරීම සඳහා තුන්වැනි පාර්ශ්වයකට පැවරීම සීමා කර ඇත. බටහිර පර්යන්තයේ ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේ සිට වසර හතක් ගෙවෙනතුරු හෝ, අඛණ්ඩව මස හයක කාලයක් තුළ වරායේ අධාරිතාව බහාලුම් මිලියන 5.5 ඉක්මවන තෙක් වරායේ නැගෙනහිර පර්යන්තය ආදී අනෙක් කොටස් පවත්වාගෙන යෑමට වෙනත් පාර්ශ්වයකට පැවරිය නොහැක.
මීට අමතරව, වසර 25ක් දක්වා දැවැන්ත බදු සහන එම ගිවිසුම මගින්ලබා දී ඇත. බටහිර පර්යන්තයේ අයිතියෙන් සීයට 85ක් හිමිව ඇත්තේ ජෝන් කීල්ස් සහ අදානි සමාගම්වලටය.
එහි සඳහන් ආකාරයට මේ වන විට මර්ස්ක් සහ ඒපීඑම් ටර්මිනල් සමාගමත් මිට්සුයි ඇන්ඩ් ඕෂන් නෙට්වර්ක් එක්ස්ප්‍රස් සමඟ හවුල්කාරිත්වයෙන් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යෑමට කැමැත්ත පළ කර ඇත. එහෙත්, සිරිමෙවන් රණසිංහ මහතා කියා තිබුණේ, එලෙස මෙහෙයුම් කටයුතු පැවරීමට කටයුතු නොකරන බවය.
ඔහු එහිදී සිහිපත් කර තිබුණේ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට උත්සාහ කළ මොහොතේ වරායේ වෘත්තිය සමිති විරෝධය දැක්වූ බවත්, සේවකයන් වරාය නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යෑමට අදාලව යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත්, සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ මහජන අයිතිය ඇතිව එය ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟ වී ඇති බවත්ය.
මෑත කාලයේ වෘත්තිය සමිති චෝදනා කර තිබුණේ, නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යෑම උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය අනුව කටයුතු කර නොමැති බවයි. මේ අතර වරාය බටහිර පර්යන්තයට වාසිදායක වන අයුරින් නැගෙනහිර පර්යන්තය මීට පෙර රජයන් විසින් හිතාමතා ප්‍රමාද කිරීම පිළිබඳ චෝදනාද පවතී.

මේ අතර කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉතා කෙටි කාලසීමාවකින් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මේ අතර වාර්තා වේ. මෙම පර්යන්තය දැඩි ලෙස ඉන්දියානු පාලනයකට නතුව පවතිනු ඇතැයි අනුමාන කෙරෙන අතර, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම, අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම සහ වරාය අධිකාරිය මෙහි හිමිකාරීත්වය දරනු ලබයි. මෙය රටේ පළමුවැනි ස්වයංක්‍රීය බහාලුම් පර්යන්තයයි. එහි වාර්ෂික ධාරිතාව කන්ටේනර් මිලියන 1.6 කි.
