රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය ඊයේ (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කර තිබනවා.
ඔවුන් මෙම නැකැත් ඉදිරිපත් කළේ ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින්.
2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා.
එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න මහතා පවසා සිටියේ, මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන බවයි.
පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී ඇති බවද ඒ මහතා පවසනවා.
සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 දක්වා වූ හිරු අවරට යෑම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බව ද ජනක මාධව මහතා සඳහන් කළා.
පූණ්‍ය කාලය තුළ නිර්මාංශ, පහසුවෙන් දිරවන, කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ කිසිදු වරදක් නොමැති බව ද ඒ මහතා පෙන්වාදී තිබෙනවා.
සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකැත් සාදනය රිසි නියම අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමග චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවද ජනක මාධව මහතා පවසනවා.
ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකරනු මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුකරනු මැනවි.
කෙසේවෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් වේලාවන් අසුබ බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය නැකැත් කමිටුව පවසනවා.
පසුගියදා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයින් පෙන්වාදුන්නේ මෙවර නැකැත් වේලාවන් ජ්‍යෝතිර් ශාස්ත්‍රයට අනුව නිවැරදිව සකස් කර ඇති බවයි.
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ලිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11ත් අලුයම 1ත් අතරය.
