සරණ ගුණවර්ධන නිදහස් කිරීමට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම විභාගයට දින දෙයි

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනා නඩුවකින් මුදා හැරීමට කොළඹ මහාධිකරණය මීට පෙර ගනු ලැබූ නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාගයට ගැනීම 2026 පෙබරවාරි මස 10 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවා ඇති අතර, මේ වන විට වෙනත් සිර දඬුවමකට බන්ධනාගාරගතව සිටින සරණ ගුණවර්ධන Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥයින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ ප්‍රතිශෝධන පෙත්සම පෙබරවාරි මස 10 වන දින විභාගයට ගැනීමටවිනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2006-2007 කාලසීමාවේදී අනුමත ක්‍රමවේදවලින් බැහැරව කුලී පදනම මත වාහන ලබාගනිමින් බලය අනිසි ලෙස භාවිත කිරීම සහ රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු කිහිපයක් ගොනු කර තිබුණි. එම නඩුවලින් හෝ ඉන් කිහිපයකින් ඔහු නිදහස් කිරීමට 2021 ජූලි 30 වැනිදා කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළ අතර, එම තීරණය නීත්‍යානුකූල නොවන බවට පෙන්වා දෙමින් අල්ලස් කොමිසම විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Author

Leave a Reply

Related Posts