MTV එකට කෝටි 10.4ක් දුන් සංචාරක අරමුදල ගැන අලි සබ්‍රි කියන දේ!

පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට (සිරස) ආසියානු විකාශන සංගමයේ   63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදීම සඳහා යොදාගෙන ඇති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල රජයේ මුදල් බව  ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යනු නීතියෙන් ස්ථාපිත කර ඇති රජයේ ආයතනයක් වන බැවින් එහි පවතින අරමුදල් අනිවාර්යයෙන්ම රාජ්‍ය අරමුදල් ලෙස සැලකිය යුතු බවයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (09) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රචාරණය සඳහා වෙන්කර තිබූ අරමුදලකින් රුපියල් කෝටි 10.4කට අධික මුදලක් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත ලබාදීම සම්බන්ධයෙන් මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී මාධ්‍යවේදියා ඔහුගෙන් විමසා සිටියේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් මහා භාණ්ඩාගාරයේ බදු මුදල් නොවන බැවින් ඒවා රජයේ මුදල් ලෙස නොසැලකිය හැකිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා සඳහන් කළේ මහා භාණ්ඩාගාරයේ බදු මුදල් පමණක් නොව රජය සතු ආයතනයක් සතුව පවතින අරමුදල්ද රාජ්‍ය මුදල් ලෙස සැලකිය යුතු බවයි.

ඔහු එහිදී පෙන්වාදුන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙනත් පෞද්ගලික පාර්ශ්වයකට අයත් ආයතනයක් නොවන බවත්  එය පාර්ලිමේන්තු නීතියක් යටතේ ස්ථාපිත කර ඇති ආයතනයක් බවයි.

ඒ අනුව එම ආයතනයට ලැබෙන මුදල් රාජ්‍ය අරමුදල් ලෙස සැලකිය යුතු බව පැවසූ අලි සබ්‍රි මහතා, එම මුදල් පරිහරණය කිරීමේදී රාජ්‍ය මූල්‍ය නියාමන ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළා.

එමෙන්ම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර  එහිදී පොදු දේපළ පනත යටතේද කටයුතු කර ඇති බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව සංචාරක ප්‍රවර්ධන අරමුදලේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ නඩුවද  උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් අලි සබ්‍රි මහතා එහිදි  සඳහන් කළා.

ඒ අනුව රාජ්‍ය ආයතනයක අරමුදල් භාණ්ඩාගාරයෙන් සෘජුව ලබාගත් බදු මුදල් නොවූ පමණින් ඒවා පෞද්ගලිකව කැමති පරිදි භාවිත කළ නොහැකි බවද අලි සබ්‍රි මහතා පවසනවා.

එමෙන්ම හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලැබුණු වසර හතක සිරදඬුවමද අලි සබ්‍රි මහතා උදාහරණයක් ලෙස ඉදිරිපත් කළා.

ඔහු එහිදී පෙන්වා දුන්නේ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ  චෝදනාවට අදාළ මුදල්ද සාමාන්‍ය ජනතාවගෙන් භාණ්ඩාගාරයට ලැබෙන බදු මුදල් නොව  රාජ්‍ය සතු ශ්‍රීලන්කන් කේටරින් ආයතනයේ ගිණුමක පැවති මුදල් බවයි

ඒ අනුව රාජ්‍යයට අයත් ව්‍යාපාරික ආයතනයක ආදායමක් වුවද එය අවභාවිත කළහොත් නීතිය ක්‍රියාත්මක විය හැකි බව මෙම සිද්ධිය උදාහරණයට ගෙනහැර දැක්වූ අලි සබ්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එම නිසා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් සම්බන්ධයෙන්ද එම මූලික මූල්‍ය වගවීම අදාළ විය යුතු බව ඔහු පෙන්වාදෙනවා.

එමෙන්ම හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ  අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ නඩු කටයුත්තද පෙන්වා දෙමින් අලි සබ්‍රි මහතා අවධාරණය කළේ,  රාජ්‍ය ආයතන සතු මුදල් විවිධ මාර්ගවලින් එකතු වුවද  ඒවායේ අවසාන වගකීම රාජ්‍ය මූල්‍ය පාලනය යටතේ පවතින බවයි.

ඔහු එහිදී උදාහරණයක් ලෙස සත්ත්වෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල්ද රජයේ මුදල් බව පෙන්වාදුන්නා.

එම මුදල් භාවිත කරමින් කිසිදු නිසි ක්‍රමවේදයකින් තොරව විශාල වියදමක් දැරිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මාධ්‍යවේදියා විසින් අලි සබ්‍රි මහතාගෙන්  තවදුරටත් විමසා සිටියේ අදාළ රුපියල් මිලියන 104.6ක මුදල ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද යන්නයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම මුදල සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 350ක අයවැය ශීර්ෂයෙන් ලබාගෙන ඇති බවයි.

එම මුදල් කොටසක් දේශීය මාධ්‍ය අයවැය යටතට මාරු කර පෞද්ගලික නාලිකාවකට අදාළ සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අලි සබ්‍රි මහත සඳහන් කළේ සාමාන්‍යයෙන් රාජ්‍ය මුදල් යොදාගෙන මෙවැනි සේවාවක් හෝ වැඩසටහනක් සඳහා ගෙවීමක් සිදුකරන විට යෝජනා කැඳවීම, තරගකාරී ආයතනවලින් මිල ගණන් හෝ ලංසු ලබාගැනීම සහ ඒවා ඇගයීම සඳහා කමිටුවක් පත් කිරීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.

එම කමිටුව මගින් ලැබෙන යෝජනා සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණයක් ගත යුතු බවද ඔහු පෙන්වාදෙනවා.

කෙසේවෙතත් මෙම  ගනුදෙනුවේදී එවැනි ටෙන්ඩර් කැඳවීමක් හෝ තරගකාරී යෝජනා ලබාගැනීමක් සිදුකර තිබේද යන්න පිළිබඳව තමාට නිශ්චිත තොරතුරක් නොමැති බවද ඔහු සඳහන් කළා.

“ඒවා කරලා නැහැ නේද” යනුවෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේදීද අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ අදාළ ලේඛන අධ්‍යයනය කර නොමැති බැවින් නිශ්චිතව කිව නොහැකි නමුත් සාමාන්‍යයෙන් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.

අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා නිර්දේශ ලබාගෙන තිබේද යන්න පිළිබඳවද මාධ්‍යවේදියා මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා සඳහන් කළේ තමන් කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේ අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හෝ නිර්දේශ ලබාගැනීම වැදගත් වන බවයි.

විශේෂයෙන්ම රජයේ මුදල් විශාල ප්‍රමාණයක් යම් කටයුත්තක් සඳහා යොදවන අවස්ථාවක එම වියදම සිදුකිරීමේ පදනම, අදාළ ව්‍යාපෘතියෙන් රජයට සහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ හා මුදල් යෙදවීමේ සාධාරණත්වය පැහැදිලි විය යුතු බවද ඔහු පැවසුවා.

කෙසේවෙතත් මෙම ව කැබිනට් පත්‍රිකාව තමන් පරීක්ෂා කර නොමැති බැවින් එහි ඇතුළත් කරුණු, සාධාරණීකරණය හෝ නිර්දේශ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවද ඔහු පැහැදිලි කළා.

මේ අතර මෙම සංවාදයේදී මාධ්‍යවේදියා, කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට පෙර සිදුකළ ප්‍රකාශයක්ද අලි සබ්‍රි මහතා වෙත ඉදිරිපත් කළා.

නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කර තිබුණේ මෙම කටයුත්ත වෙනුවෙන් භාණ්ඩාගාරයේ බදු මුදල් කිසිදු ආකාරයකින් වැය කර නොමැති බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනයක් වන බැවින් එහි අරමුදල්වලින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදල් යෙදවීමට හැකියාව පවතින බවයි.

එම අරමුදලට සංචාරකයන්ගෙන් ලැබෙන ගාස්තු සහ සංචාරක හෝටල් ක්ෂේත්‍රයෙන් ලැබෙන අයකිරීම් ඇතුළත් වන බවත්  ඒවා මහා භාණ්ඩාගාරයේ බදු මුදල් නොවන බවත් නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබුණා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලි සබ්‍රි මහතා කියා සිටියේ මුදලක් භාණ්ඩාගාරයෙන් සෘජුව ලැබී නොමැති වීමෙන් පමණක් එය රජයේ මුදල් නොවන බවට පත් නොවන බවයි.

ඔහු තවදුරටත්  අවධාරණය කළේ රාජ්‍ය ආයතනවලට විවිධ මාර්ගවලින් ලැබෙන ආදායම්ද අදාළ නීති හා මූල්‍ය නියාමන යටතේ පවතින බැවින් ඒවා පරිහරණය කිරීමේදී විනිවිදභාවය සහ වගවීම අනිවාර්ය වන බවයි.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මෙම වියදම සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බවට සිදුකළ ප්‍රකාශයද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

විජිත හේරත් මහතා එහිදී පවසා තිබුණේ,  මෙම සමුළුව එක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා නොව ජාත්‍යන්තර මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලෝකයට හඳුන්වාදීම සඳහා ලැබුණු අවස්ථාවක් බවයි.

ඒ අනුව මෙම සමුළුව වෙනුවෙන් වැය කළ මුදලට අදාළව රටට සහ සංචාරක ක්ෂේත්‍රයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ආණ්ඩුවට වගකීමක් පවතින බව මාධ්‍යවේදියා ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා සඳහන් කළේ අදාළ වියදමෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභ මොනවාද, ඒවා නිසි ලෙස ඇගයීමට ලක්කර තිබේද සහ ඒවා සලකා බලා අදාළ අධිකාරියේ සාමාජිකයන් තීරණයක් ගෙන තිබේද යන්න පැහැදිලි කිරීම එම ආයතනයේ වගකීමක් බවයි.

ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබුණේ 2024 ඔක්තෝබර් 20 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති එම සංගමයේ පරිපාලන කවුන්සිල රැස්වීමේදීයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ MTV Channel (Pvt) Ltd ආයතනයට එහි සත්කාරකත්වය හිමිවුණා.

එම සමුළුව 2026 ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා.

මෙය ආසියා පැසිෆික් කලාපයේ විකාශන ආයතන රැසක නියෝජිතයන් සහභාගි වන ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවක් වන අතර විකාශන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙසද රජය එය හඳුන්වාදී තිබුනා.

කෙසේ වෙතත් එම සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක අරමුදල් යොදාගැනීම පිළිබඳව මතු වූ ප්‍රශ්න සමඟ මෙම මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් දේශපාලන හා සමාජ කතාබහක් ඇති වුණා.

Author

Leave a Reply

Related Posts