ගම්පහ ඔස්මන් ගැන නීතිපතිගෙන් අධිකරණයට විශේෂ දැනුම්දීමක්!

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය විමර්ශන අවසන් වීමෙන් පසුව ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය මේ බව අධිකරණයට දැනුම්දුන්නා.

මහේන් ගොපල්ලව සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම කැඳවා තිබුණා.

එහිදී සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳ තීරණය විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ගන්නා බව නීතිපති පාර්ශ්වය අධිකරණයට දැනුම්දෙනු ලැබුවා.

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගනු ලැබුවා .

පොලිසිය සඳහන් කළේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධ වී ඝාතනය සැලසුම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ගිනි අවිය ලබාදීම මඟින් ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳ සැක මතුවී ඇති බවයි.

එමෙන්ම ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතොරම් 10ක් සහ පතොරම් ගැබ් දෙකක් සොයාගත් බවද පොලිසිය ප්‍රකාශ කර තිබුණා.

2026 මැයි 13 වැනිදා රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එවකට 69 හැවිරිදි වියේ පසුවූ ඔහු ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබූණා.

එම කාලය තුළදී සිදුකළ විමර්ශනවලදී ඝාතනය සඳහා අවශ්‍ය ගිනි අවිය සැපයීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඔහු පිළිබඳ විමර්ශන සිදුකර තිබුණා.

ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඔහු ඊයේ (09) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ඔහු නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

Author

Leave a Reply

Related Posts