ඩුබායි හිදී අත්අඩංගුවට ‘අචිනි’ CID භාරයට

අරුණ විදානගමගේ ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර සිටි ප්‍රධාන සැකකාරියක වන අනුෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැති කාන්තාව ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

34 හැවිරිදි වියේ පසුවන මෙම සැකකාරිය මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අලුයම 05.20ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

ගුවන් තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරී කණ්ඩායම විසින් ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව, වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාර දී තිබේ.

‘මීගස්ආරේ කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අරුණ විදානගමගේ 2025 පෙබරවාරි 18 වන දින රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම ප්‍රහාරයෙන් කජ්ජා සමඟ ඔහුගේ වයස අවුරුදු 6ක දියණිය සහ වයස අවුරුදු 9ක පුත්‍රයා ද ජීවිතක්ෂයට පත් විය.

මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය, ඝාතනයට ලක්වූ ‘කජ්ජා’ නැමැත්තා සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ උපදෙස් පරිදි, ඝාතනය සිදුවූ දින ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා ආහාර ගැනීම සඳහා අදාළ අවන්හල වෙත කැඳවා ඇත්තේද මෙම සැකකාරිය විසින් බව හෙළි වී තිබේ. තවද, ඝාතනය සිදුවීමට මෙහොතකට පෙර ‘කජ්ජා’ වෙත අවසන් දුරකථන ඇමතුම සහ SMS යොමු කර ඇත්තේද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී ඇති බව පැවසේ.

සිද්ධියෙන් පසුව විදේශගතව සැඟව සිටි ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading