Passport ගන්න වෙලාව වෙන්කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් – Immigration එකෙන් විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා විදේශ ගමන් බලපත්‍ර (Passport) ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය (Online Appointment System) ඔස්සේ පූර්ව දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ විශේෂ පහසුකම 2026 ඔක්තෝම්බර් 29 වන දින සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක්දින හෝ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන්, අදාළ කාර්යාල වෙත පැමිණීමට පෙර දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස තමන්ට පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතුය.

කෙසේ වෙතත්, බත්තරමුල්ල “සුහුරුපාය” හි පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා මෙසේ පූර්ව වේලාවන් වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවන අතර, සතියේ වැඩකරන දිනවල පෙ.ව. 7.00 සිට ප.ව. 1.00 දක්වා සාමාන්‍ය පරිදි අයදුම්පත් භාරගැනීම සිදුකරන බව පැවසේ.

එසේම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා (Apply Passport Online සබැඳිය ඔස්සේ) මාර්ගගතව කෙළින්ම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2026 ඔක්තෝම්බර් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මීට පෙර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අයදුම්කරුවන්ට පමණක් සීමා කර ඇත.

මෙම මාර්ගගත ක්‍රමවේදය හදිසි සේවාව සහ සාමාන්‍ය සේවාව ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර, හදිසි සේවාව යටතේ අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව දින 2ක් ඇතුළත ඇඟිලි සලකුණු ලබා දී, ඉන් දින 3ක් ඇතුළත Speed Post කුරියර් සේවාව මගින් විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මහජනතාව වෙත කරනු ලබන නිවේදනයයි!

01. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා අයදුම්කරුවන්  සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online Appointment System) පූර්ව දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම  ක්‍රියාත්මක කිරීම.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයත් සියලුම ප්‍රාදේශීය කාර්යාල මගින් එක්දින හා සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online Appointment System) ඔස්සේ පූර්ව දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමවේදයක් 2026 ඔක්තෝම්බර් 29 වන දින සිට ක්‍රියාත්මක කර ඇත.

අදාල ප්‍රාදේශීය කාර්යාල

  • මහනුවර
  • යාපනය
  • කුරුණෑගල
  • වවුනියාව
  • මාතර

සේවාලාභීන් වෙත විශේෂ උපදෙස්

  1. ඉහත දක්වා ඇති ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකින් එක්දින සේවා හෝ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන්, අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online Appointment System) පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතු වේ.
  1. බත්තරමුල්ල, “සුහුරුපාය” හි පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් සේවාවන් ලබාගැනීම සඳහා මෙසේ පූර්ව වේලාවන් වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවන අතර සතියේ වැඩකරන දිනයන්හි දි පෙ.ව 7.00  සිට  ප.ව 1.00 දක්වා අයදුම්පත් භාර ගනු ලැබේ.

දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම

02. මෙයට පෙර ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක් සහිත පුද්ගලයින් සඳහා  මාර්ගගත ක්‍රමවේදය (Online)  ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම.

2026 ඔක්තෝම්බර් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන්නේ මෙයට පෙර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් අයදුම්කරුවන් සඳහා පමණි .

මාර්ගගත ක්‍රමවේදය හදිසි සේවය හා සාමාන්‍ය සේවය යන ක්‍රමවේද 02 ඔස්සේ ක්‍රියාත්මක වේ.

· හදිසි සේවාව යටතේ අයදුම්කරනු ලබන අයදුම්කරුවන් සඳහා  අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව දින 02 ක් තුළ ඇඟිළි සළකුණු ලබා දීමේ අවස්ථාව හිමිවන අතර ඇඟිළි සළකුණු ලබා දී දින 03 ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය තැපැල් දෙපාර්තමේන්තු කුරියර් සේවාව

( Speed Post )  මගින් අයදුම්කරු විසින් ලබා දී ඇති ලිපිනයට යොමු කරනු ලැබේ.

· සාමාන්‍ය සේවාව යටතේ අයදුම්කරනු ලබන අයදුම්කරුවන් සඳහා  අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව දින 02 ක් තුළ ඇඟිළි සළකුණු ලබා දීමේ අවස්ථාව හිමිවන අතර ඇඟිළි සළකුණු ලබා දී දින 14 ත් 21  ත් අතර කාලය තුළ විදෙස් ගමන් බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් අයදුම්කරු විසින් ලබා දී ඇති ලිපිනයට යොමු කරනු ලැබේ.

අයදුම්පත්‍ර ඉදිරිපත්  කළ හැකි ආකාරය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ( Apply Passport Online) යන සැබැඳිය හරහා අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමේ  පහසුකම් සලසා ඇත.

මුල් වරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්කරන අයදුම්කරුවන් සඳහා උක්ත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව හිමි නොවන අතර ඔවුන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත හෝ මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ තම විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය.

Author

Leave a Reply

Related Posts