ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය විසින් නියම කරන ලද වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙන්, හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමටත්, ඔවුන්ට විදේශ ගමන් තහනමක් පැනවීමටත් ශ්රේෂ්ඨාධිකරණය අද(26) නියෝග කර තිබේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
පසුගිය රජය සමයේ ප්රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමේ ක්රියාවලිය හේතුවෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, ඊට වගකිව යුතු ප්රධාන වගඋත්තරකරුවන් පස්දෙනා විසින් අදාළ වන්දි මුදල් ගෙවිය යුතු බවට පසුගිය මාර්තු මාසයේදී නියෝග කළේය. එම තීන්දුවට අනුව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් වෛද්ය ජනක චන්ද්රගුප්ත, වෛද්ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්ය සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති වෛද්ය විජිත් ගුණසේකර සහ වෛද්ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්ය තුසිත සුදර්ශන යන අය අදාළ නඩුවේ ප්රධාන වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
අධිකරණ නියෝගයට අනුව හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75 ක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබුණි. නමුත් ඔහු විසින් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 20 ක මුදලක් පමණක් බව ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දී ඇති අතර නියමිත වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් මෝසමක් ගොනු කර තිබුණි.
අදාළ මෝසම අද දින සලකා බැලීමෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇතුළු නියෝග නිකුත් කර තිබේ.
