හෝමාගම පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය තරුණයා සම්බන්ධයෙන් කිසියම් හෝ ආකාරයක අනීතික පොලිස් පහරදීමක් සිදුව ඇත්නම් ඊට එරෙහිව තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම නීතිය ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක එෆ්, යූ වුට්ලර් මහතා පවසනවා.
එමෙන්ම මෙම සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් අනෙක් තරුණයා අතුරුදහන් කර ඇති බවට ඥාතීන් එල්ල කරන චෝදනා මුළුමනින්ම අසත්ය බවත් පොලිස් භාරයට ගැනෙන ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් මත්ද්රව්ය වැටලීමක් අතරතුර හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි 29 හැවිරිදි එම තරුණයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවපොලිස් මාධ්ය ප්රකාශක සඳහන් කළා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේදී සිදු කිරීමට නියමිත බව ඔහු පැවසුවා.
විමර්ශනවලදී යම් නිලධාරියෙක් නීතියට පටහැනිව ක්රියා කර ඇති බවට අනාවරණය වුවහොත් නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති එක්දරු පියෙක්.
මියගිය තරුණයාගේ පාර්ශ්වය දැඩි ලෙස චෝදනා කරන්නේ, පොලිසිය විසින් සිදු කරන ලද අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
අත්අඩංගුවට පත් තරුණයාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ උදෑසන ඥාතීන් හෝමාගම මූලස්ථාන පොලිසිය වෙත ගිය අවස්ථාවේදී අපරාධ විමර්ශන අංශය තුළ සිටි ඔහුව නිලධාරීන් සිව්දෙනෙක් විසින් ඔසවාගෙන විත් සිරමැදිරියේ බිම දමනු දැකගත හැකි වූ බව ඥාතීන් පවසනවා.
එහිදී අසාධ්ය තත්ත්වයෙන් සිරමැදිරිය තුළ වැටී සිටි තරුණයාව කඩිනමින් රෝහල්ගත කරන ලෙස ඥාතීන් දැඩි ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුව හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව ඥාතීන් සඳහන් කළා.
මීට අමතරව අදාළ වැටලීම සිදුවන අවස්ථාවේ ඉෂාර හර්ෂ කුමාර සමඟ යතුරුපැදියේ ගමන් කළ අනෙක් තරුණයාට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් ඔහු මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඔහු අතුරුදහන් කර ඇතැයි සැක මතු වන බවත් ඥාතීන් චෝදනා කළා.
ඥාතීන්ගේ එම චෝදනාව සම්බන්ධයෙන් වට්නිව්ස් අප පොලිස් මාධ්ය ප්රකාශකවරයාගෙන් කළ විමසීමේදී ඔහු ප්රකාශ කළේ, චෝදනා මුළුමනින්ම අසත්ය බවත් පොලිස් භාරයට ගැනෙන ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
කෙසේවෙතත් සිදුවූ අසාධාරණයට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් මියගිය තරුණයාගේ ඥාතීන් සහ ප්රදේශවාසීන් හෝමාගම මූලික රෝහල් පරිශ්රයේදී දැඩි විරෝධතාවක් දැක්වීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
