නුවර සිට කොළඹ දක්වා පැමිණි පාගමන අතරතුර තමන් වහන්සේට 102°ක පමණ තද උණ රෝගී තත්ත්වයක් උත්සන්න වූ බවත් එම අවස්ථාවේ උපාසිකාවක් පූජා කළ සාලුවකින් හිස ආවරණය කරගෙන ප්රතිකාර ලබාගැනීම සඳහා හෝටලයකට වැඩම කළ බවත් පූජ්ය බලංගොඩ කස්සප හිමි පවසනවා.
උන්වහන්සේ පවසන්නේ, සමාජ මාධ්ය තුළ තමන් වහන්සේ සැන්ග්රිලා හෝටලයේ වැඩ සිටින බවට පැතිර යන ප්රචාර සම්පූර්ණයෙන්ම අසත්ය බවත් තමන් වහන්සේ වැඩම කළේ කින්ස්බරි හෝටලයට බවයි.
පාගමන කොළඹට ළඟා වීමෙන් පසු භික්ෂූන් වහන්සේලා රැසක් අසනීප වූ බව පැවසූ උන්වහන්සේ රෝහල්වලින් මෙන්ම වෙනත් ස්ථානවලින්ද ප්රතිකාර ලබාගත් බවද එහිදි කියා සිටියා.
එමෙන්ම තමන් වහන්සේට විවිධ දායකයන් නවාතැන් පූජා කිරීමට ඉදිරිපත් වුවද ඒවා ප්රතික්ෂේප කළ බවත් එහෙත් රෝගී තත්ත්වය උත්සන්න වී හුළං වැදීමෙන් තවදුරටත් අසාධ්ය වන බව පවසමින් දායකයන් විසින් බලහත්කාරයෙන් මෙන් තමන් වහන්සේව හෝටලය වෙත වැඩම කරවූ බවත් උන්වහන්සේ පවසනවා.
එසේ නොවුණා නම් අද මෙලෙස ජීවතුන් අතර සිටීමට නොහැකි වනු ඇති බවද උන්වහන්සේ කියා සිටියා.
අදාළ හෝටල් කාමරයට වෙනම වෛද්ය කණ්ඩායමක් පැමිණ තමන් වහන්සේට ප්රතිකාර ලබාදුන් බව පැවසූ කස්සප හිමි සඳහන් කළේ, එම ප්රතිකාර කටයුතුවලට අවශ්ය මූල්යමය වියදම් වෙනම දායක කණ්ඩායමක් විසින් දරනු ලැබූ සාමූහික ප්රයත්නයක් බවයි.
එමෙන්ම තමන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා එම ස්ථානයට පැමිණි බව පැවසූ උන්වහන්සේ, ගිලන්ව සිටින භික්ෂුවකගේ සුවදුක් බැලීමට පැමිණීමට කිසිවෙකුගෙන් අවසර ගැනීමට අවශ්ය නොවන බවද පෙන්වාදෙනවා.
මේ අතර සිය පෞද්ගලිකත්වයට දැඩි හානි කරමින් හෝටලයේ අභ්යන්තර ආරක්ෂක කැමරා දර්ශන, කාමර වෙන්කළ පුද්ගලයාගේ නම් ගම් සහ ආහාරපානවල බිල්පත් සහ ඡායාරූප මාධ්ය වෙත මුදාහැරීමට කටයුතු කළ හෝටල් පාලනාධිකාරියට එරෙහිව දෝෂාරෝපණය කළ උන්වහන්සේ, එම අනීතික ක්රියාවට එරෙහිව අධිකරණය හමුවට යන බව අවධාරණය කළා.
පැමිණෙන පාරිභෝගිකයන්ගේ අතිශය සංවේදී පෞද්ගලික තොරතුරු මෙලෙස මාධ්යයට මුදාහරින මෙවැනි හෝටල් වෙත යාමට පෙර ජනතාව දෙපාරක් සිතා බැලිය යුතු බවටද උන්වහන්සේ පැවසුවා.
ගණේමුල්ලේ සංජීව වැනි පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ උසාවිය තුළදීම ඝාතනය කිරීමට තැත් කළ රටක මෙවැනි සංවේදී දත්ත එළියට දැමීමෙන් තම ජීවිතය පවා අනාරක්ෂිත වන බව කස්සප හිමි පවසනවා.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේද මෙවැනි චෝදනා එල්ල වූ බව පැවසූ බලංගොඩ කස්සප හිමියන්, බුදුරදුන් ගස් යට වැඩසිටි අවස්ථා මෙන්ම රජමාලිගාවල වැඩසිටි අවස්ථා සහ කසී සළු පොරවාගත් අවස්ථාද තිබූ බවත් පැහැදිය යුත්තේ ධර්මයට මිස බාහිර සාධකවලට නොවන බවත් සඳහන් කළා.
ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ මූලික අරමුණේ වගකීම මේ වන විට මහානායක මාහිමිපාණන් වහන්සේලා භාරගෙන ඇති බැවින් තමන්ගේ මීළඟ සටන ගම් මට්ටමින් ආරම්භ කර පාලන තන්ත්රයට එරෙහිව මෙහෙයවන බව පවසමින් උන්වහන්සේ ඊට එක්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියා.
