PSTA ට එරෙහිව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමත් විභාගයට

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතේ සඳහන් වගන්තීන් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුක්‍රම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනුකරන ලද පෙත්සමත් අද විභාගයට ගැනීමට නියමිතය.

වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය PSTA කෙටුම්පත, 2026 ඔක්තෝබර් මස 06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ව්‍යවස්ථාවේ 120 සහ 121(1) වගන්තිය යටතේ ඇති ප්‍රතිපාදන පරිදි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් 2026 ඔක්තෝබර් 16 දාතමින් SC/SD/133/2026 අංක දරණ විශේෂ නිර්ණය පෙත්සමක් (Special Determination Petition) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබිණි.

මේ සම්බන්ධයෙන් ඊයේ(19) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ එම සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ විධායක සභික ලක්ෂ්මන් මුතුතන්ත්‍රීගේ මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් වශයෙන් පෙනී සිටින බවයි. එසේම වගඋත්කරුවන් ලෙස නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල නම් කොට ඇති මෙම පෙත්සම ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්ෂාන් ඩයස්ගේ උපදේශකත්වයෙන් නීතීඥ දයානි පන්ඩිතරත්න විසින් ගොනු කර තිබේ.

පෙත්සම්කරුවන් විසින් පහත කාරණා සම්බන්ධයෙන් මූලික විරෝධතාවයන් දක්වා ඇත.

  • ත්‍රස්තවාදය යන්නෙහි අපැහැදිලි අර්ථ නිරූපනය.
  • රහස්‍ය තොරතුරු රැස්කිරීම හා මූලාශ්‍ර හෙලි කිරීම පුළුල් කිරීම මගින් මාධ්‍යවේදීන්ගේ නීත්‍යානුකූල වෘත්තීය කටයුතු වලට තර්ජනයක් වීම.
  • නොදැන්වීම මත හෝ විභාගයකින් තොරව ජනාධිපතිවරයා වෙත සංවිධාන තහනම් කිරීම සහ අපරාධමය වගකීම පැවරීම සඳහා බලය ලබා දීම.
  • ඇතැම් ප්‍රකාශන පළකිරීම,බෙදාහැරීම හෝ සන්තකයේ තබා ගැනීම අපරාධමය වරදක් බවට පත්කිරීම
  • වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්-අත්අඩංගුවට ගැනීමේ බලතල සන්නද්ධ හමුදාවන් හා වෙරළාරක්ෂක නිලධාරීන් වෙතද පැවරීම.
  • සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර හමුදා රැඳවුම් කාලය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට ඉඩ සැලසීම.
  • විධායක බලය මත සැකකරුවකුගේ රැඳවුම් කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම තුළින් මහේස්ත්‍රාත් සහ මහාධිකරණ බලතල සීමා කිරීම.
  • විධායකය විසින් තහනම් ස්ථාන නම් කිරීම, රැස්වීම, පෙළපාලි, විරෝධතා, ගමනාගමනය සහ සන්නිවෙිදනය සඳහා නිදහස අහිමි කිරීමේ බලය විධායකය සහ පොලිස් නිලධාරීන් වෙත පැවරීම.
  • නීතිපතිවරයාට වසර 20ක් දක්වා නඩු පැවරීම කල් දැමීමට හෝ අත්හිටුවීමට පහසුකම් සැලසීම.
  • බලහත්කාර බලපෑමක් ඔස්සේ වරදකරුවනට පසුතැවීම හෝ සමාව ඉල්ලීමට පෙළඹවීම ඔස්සේ වන්දි හෝ ප්‍රතිපූරණ ලබා දීමේ තීරක බලය නීතිපතිවරයා වෙත පැවරීම.
  • දේශපාලන ස්ථාවරයන් දැරීම මත දඬුවම් පැමිණවීමට නියම කිරීම.
  • වධහිංසාවන් වැළැක්වීම පිළීබඳ පනත හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වැනි පනත් මගින් දක්වා ඇති නීතිමය වගකීමෙන් නිදහස් වීමට යහපත් චේතනාව මත නිලධාරීන් සිදුකරන ක්‍රියාවන්ට අවකාශ සැලසීම හා ඇතැම් ක්‍රියා සඳහා සිවිල් හා අපරාධ නඩු පැවරීම් වලින් ආවරණයක් ලබා දීම.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading