විශ්රාමික කම්කරුවාට රු. ලක්ෂයකට අධික වන්දි මුදලක්
මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) මහනුවර සහ අවිස්සාවේල්ල විධායක ඉංජිනේරු කාර්යාලවල නඩත්තු කම්කරුවෙකු ලෙස වසර ගණනාවක් සේවය කර විශ්රාම ලැබූ ඒ.සී. ඩේවිඩ් නම් කම්කරුවෙකුගේ පාරිතෝෂිත මුදල් (Gratuity) ගෙවීම අසාධාරණ ලෙස ප්රමාද කිරීම හේතුවෙන්, අදාළ සේවකයාට රුපියල් ලක්ෂයකට අධික ප්රමාද ගාස්තු වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ නැගෙනහිර කම්කරු කොමසාරිස්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට දැඩි ලෙස නියෝග කර තිබේ.
මෙම සේවකයා 2025 දෙසැම්බර් 22 වන දිනට සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් සේවයෙන් විශ්රාම ලබා ඇති අතර නීත්යානුකූලව ඔහුට හිමිවිය යුතු පාරිතෝෂිත මුදල් විශ්රාම ගැන්මෙන් පසු නිසි කලට ලැබිය යුතු වුවද, නිලධාරීන්ගේ දැඩි නොසැලකිලිමත්කම සහ ප්රමාදය නිසා මාස කිහිපයක් ගතවන තුරුත් එම මුදල් ලබා දීමට පියවර ගෙන නොතිබිණි.
මෙම දැඩි අසාධාරණය සම්බන්ධයෙන් මෙම සේවකයා විසින් එක්සත් පොදු සේවක සංගමය නම් වෘත්තීය සමිතියේ මගපෙන්වීම අනුව නැගෙනහිර කොළඹ කම්කරු කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අදාළ පැමිණිල්ල පිළිබඳ නඩු විභාගය 2026 සැප්තැම්බර් 16 දින පවත්වා ඇති අතර, එහිදී තහවුරු වූ කරුණු මත පදනම්ව කම්කරු කොමසාරිස්වරයා විසින් RDA බස්නාහිර පළාත් අධ්යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කෙර තිබේ. ඒ අනුව, ගෙවීම් ප්රමාද කිරීම වෙනුවෙන් රුපියල් 115,463.25 ක අධිහාර මුදලක් 2026 ඔක්තෝබර් 18 දින සිට දින 14 ක් ඇතුළත මෙම සේවකයා වෙත ලබා දිය යුතුය.
මෙම තීන්දුව පිළිබඳව What News කළ විමසීමකදී අදහස් දක්වමින් එක්සත් පොදු සේවක සංගමයේ ප්රධාන ලේකම් නිහාල් අජිත් සඳහන් කළේ මෙය RDA ඉතිහාසයේ ලැබූ සුවිශේෂී ජයග්රහණයක් බවයි.
“අවුරුදු 60 ක් රටට සේවය කරලා විශ්රාම යන මනුස්සයෙක්ට තමන්ගේම සල්ලි ටික වෙලාවට ගන්න බැරි වෙන එක මහා අපරාධයක්. නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අසරණ කම්කරුවෝ පෑගෙනවා.”
“අපේ සංගමයේ ඉන්නේ ඇත්තටම දරිද්රතාවයෙන් පෙළෙන කම්කරු ජනතාව. මේ කම්කරුවන්ට විශාල වශයෙන් ආයතනවලින් අසාධාරණකම් සිද්ධ වෙනවා. අවිස්සාවේල්ලේ සේවය කරපු ඩේවිඩ් සහෝදරයාට සිදුවෙච්ච අසාධාරණයට එරෙහිව අපි පෙනී සිටියා. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් වන්දි වශයෙන් ලබා දෙන්න කම්කරු කොමසාරිස්තුමා නියෝග කළා. ඉදිරියටත් මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව නීතිමය පියවර ගනිමින් කම්කරුවන් වෙනුවෙන් සංගමයක් ලෙස අපි තදින්ම පෙනී සිටිනවා,” යැයිද එක්සත් පොදු සේවක සංගමයේ ප්රධාන ලේකම් නිහාල් අජිත් වැඩිදුරටත් පැවසීය.
