ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු! සෙසු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ්!

2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිට මේ වන විට විදේශගතව පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

අධිකරණයට පැමිණි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ විවෘත වරෙන්තුව නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබුවා.

මෙම නඩුවට අදාළව අධිකරණය නිකුත් කළ නොතීසි ප්‍රකාරව අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන සෙසු විත්තිකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී, තෙවන වගඋත්තරකාර ප්‍රේමලාල් ජයසේකර මහතා විවෘත අධිකරණයේ පෙනී සිටියේ නැත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට දිවයිනෙන් බැහැරව විදේශගතව සිටින බවයි.

2015 ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියක් වෙනුවෙන් කහවත්ත ප්‍රදේශයේ සකස් කරමින් තිබූ වේදිකාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩංගොඩ නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.

එම ඝාතනය සම්බන්ධයෙන් ගොනුකළ නඩුවේ විභාගය අවසන් කරමින් රත්නපුර මහාධිකරණය මඟින් 2020 ජූලි 31 වනදා ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාටම මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

පසුව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ අභියාචනාධිකරණය, 2022 මාර්තු 31 වනදා ඔවුන් තිදෙනාම අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.

එම තීන්දුවට එරෙහිව ඝාතනයට ලක්වූ ශාන්ත දොඩංගොඩගේ බිරිඳ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර පසුගිය සැප්තැම්බර් 04 වනදා එහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද දින පෙනී සිටින ලෙස විත්තිකරුවන් තිදෙනාට නොතීසි නිකුත් කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading