රජයේ සේවකයන් සිව්දෙනෙකු පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා රජයට රුපියල් ලක්ෂ 27කට අධික පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 05 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (ඔක්තෝබර් 20) නියෝග කර ඇත.
ඇප මත සිටින හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලේ සේවය කළ බව කියන කුලියාපිටියේ දීපාල් සංජීව රත්නායක යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ජ්යෙෂ්ඨ උපදේශක කාර්යාලයට තාවකාලික පදනම මත සේවකයන් සිව්දෙනෙකු බඳවාගෙන, ඔවුන් එම රාජකාරිවල යෙදවීම වෙනුවට පෞද්ගලික කටයුතු සඳහා යොදාගනිමින් එම සේවකයන්ට රුපියල් 2,768,836.14ක වැටුප් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදුකළ බවට අකිල විරාජ් කාරියවසම්ට චෝදනා එල්ල වී තිබේ.
එම සිද්ධියට ආධාර අනුබල දුන් බවට දෙවන සැකකරුට ද චෝදනා එල්ල වී ඇත.
නඩුවට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බවයි.
සිද්ධියට අදාළව විදේශගතව සිටින පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ප්රකාශ සටහන් කරගැනීමට නියමිත බවත්, අත්අකුරු සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
