සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙක් යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීම සඳහා අධිකරණයේ විනිසුරුවරයෙකුට බලපෑම් කිරීමට අල්ලස් ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

අදාළ සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මාලි හෙට්ටිආරච්චි මහත්මිය පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකදී සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමේ අරමුණින් එම අධිකරණයට අනුයුක්ත කාර්යාල කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදුන් බවට එල්ල වූ චෝදනාවකට අදාළවයි.

අනතුරුව අල්ලස් ලබාගැනීමට සම්බන්ධ බවට සැක කෙරෙන කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහායකයා සහ අල්ලස් ලබාදීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් තිදෙනාම මීට පෙරද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔක්තෝබර් 6 වැනිදා ඔවුන් එම මාසයේ 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණේ කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහායකයාගේ ජංගම දුරකථනයේ තිබූ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමේදී අදාළ අල්ලස් ගනුදෙනුවට සම්බන්ධ විය හැකි පණිවිඩ සහ මුදල් හුවමාරුවට අදාළ ලේඛන හමුවූ බවයි.

එම පණිවිඩ සහ ලේඛන පිළිබඳ කරුණුද විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading