රියැදුරු අසුනේ සිටි පුද්ගලයා තමන් අමාත්ය චම්පික රණවක බව හඳුන්වා දෙමින් පහරදීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින රාජගිරිය රිය අනතුරු නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් අධිකරණය හමුවේ ප්රකාශ කර තිබෙනවා.
සිද්ධික් මොහොමඩ් සූෆායික් නමැති මෙම සාක්ෂිකරු දීර්ඝ කාලයක් විදේශගතව සිට නැවත පැමිණ අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා ගමන් කළ බව කියන ජීප් රථයේ ගැටුණු සන්දීප් සම්පත් නමැති තරුණයා පැදවූ යතුරුපැදියට මීටර් 50ක පමණ පිටුපසින් ඔහු ගමන් කළ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ එහිදි සඳහන් කළා.
අනතුර සිදුවීමෙන් පසුව අදාළ ජීප් රථය සරණ පාර ඔස්සේ බොරැල්ල දෙසට ධාවනය වූ බවත් තමන් මාර්ගය හරස් කර එම ජීප් රථය නවතා ගැනීමට සමත් වූ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්රකාශ කර තිබෙනවා.
ජීප් රථය නතර කිරීමෙන් අනතුරුව තමන් සමඟ සිටි අනෙක් පුද්ගලයා එහි ඉදිරිපස දොර විවෘත කර රියැදුරු අසුනේ සිටි පුද්ගලයාට පහරදීමට උත්සාහ කළ බවද ඔහු සාක්ෂි ලබාදෙමින් පවසා තිබෙනවා.
සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා “ගහන්න එපා.. මම ඇමති චම්පික රණවක” යනුවෙන් පැවසූ බවයි.
2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප්රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අතරතුර මෙම සාක්ෂි ලබාදීම සිදුවනවා.
මේ අතර රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී, පළමු පැමිණිල්ලේ සාක්ෂිකරු ගයාන් විනෝදක මහතා තමන් අනතුරට සම්බන්ධ ජීප් රථය පසුපස හඹාගොස් එය නතර කළ බවත් එහි රියැදුරු තමන් චම්පික රණවක බව පැවසූ බවත් සාක්ෂි ලබාදී තිබුණා.
