කොණ්ඩේ වැව්වට, පච්ච කෙටුවට හැමෝවම අල්ලන්නේ නැහැ! – පනතේ කොණ්ඩය කියන වචනෙවත් නැහැ – අලුත් පනත ගැන අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්

පුද්ගලිකව කැමති කොණ්ඩ මොස්තරයක් තබා ගැනීම පච්ච කෙටීම හෝ කැමති ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ කිසිදු ඉඩක් නොමැති බවත් පනතේ කිසිදු තැනක කොණ්ඩය යන වචනය පවා නොමැති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, නව පනත හරහා කොණ්ඩය වවා ඇති හෝ පච්ච කොටා ඇති පුද්ගලයන් අපරාධකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ විකෘති ප්‍රචාර පතුරුවමින් මහජනතාව අනවශ්‍ය ලෙස බියගන්වන බවයි.

සංවිධානාත්මක පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනීමැරුම් මර්දනය සඳහා ගෙන එන නව පනතේ 4(2)(ඇ) වගන්තිය පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, ජාත්‍යන්තරයේ මෙන්ම සිංගප්පූරුවේ Organised Crime Act හි අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනවලට අනුව පාතාල කල්ලියක සාමාජිකයෙකුදැයි හඳුනාගැනීමට ප්‍රකට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් භාවිතා කරන විශේෂ හස්ත මුද්‍රා, සංකේත හෝ පච්ච සටහන් නැවත බිඳහෙළිය හැකි උපකල්පනයක් ලෙස පමණක් භාවිත කරන බව සඳහන් කළා.

එය තනි තනි පුද්ගලයන්ගේ සාමාන්‍ය ස්වයන්ප්‍රකාශනයට හෝ මූලික අයිතිවාසිකම්වලට බලපෑමක් නොකරන බවද අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම කැමති ඇඳුමක් ඇඳීම, පච්චයක් කොටාගැනීම හෝ කොණ්ඩ මොස්තරයක් තබාගැනීම සෑම පුරවැසියෙකුගේම මූලික අයිතිවාසිකමක් බවත් පනත පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් අසත්‍ය ප්‍රචාර පැතිරවීම සිදු නොකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනත අභියෝගයට ලක්කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading