උලපනේ, ගම්මන්පිළ ඇතුළු 54 දෙනෙක්ට ලැබුණු නියෝගයේ කතාව

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මහනුවර සිට කොළඹට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ නිරත වූ උලපනේ සුමංගල හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් මාර්ග අවහිර කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආරක්ෂිත ස්ථාන අසල රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝබර් 16) ආඥාවක් නිකුත් කර තිබේ.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙම ආඥාව නිකුත් කර ඇත.

උලපනේ සුමංගල හිමි, බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 30 දෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් 11 දෙනෙකු සහ සිවිල් ක්‍රියාකාරීන් 12 දෙනෙකු මෙහි නම් කර තිබේ. ඒ අනුව, අධිකරණ ආඥාවේ පුද්ගලයන් 53 දෙනෙකු නමින් සඳහන් වන අතර, එහි 54 වැනි අංකය යටතේ ඔවුන්ගේ සාමාජිකයන් සහ විරෝධතාවට සහභාගි වන වෙනත් තැනැත්තන්ද ඇතුළත් කර තිබේ.

මෙම නියෝගය අද උදෑසන 6.00 සිට බලපැවැත්වෙන ආකාරයෙන් නිකුත් කර ඇති අතර, එය ජනාධිපති ලේකම් කාර්යාලය පමණක් නොව කොටුව දුම්රිය ස්ථානය, සෙරමික් හන්දිය, ගාලු මුවදොර වටරවුම සහ ඒ ආශ්‍රිත මාර්ග හා රජයේ ප්‍රධාන ආයතන පිහිටි ප්‍රදේශද ආවරණය කරයි.

නියෝගයට ඇතුළත් භික්ෂූන් සහ දේශපාලනඥයන්

අධිකරණ ආඥාවේ භික්ෂූන් වහන්සේලා 30 නමක් වෙන් වෙන් වශයෙන් නම් කර තිබේ.

ඒ අතර ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි, විතාරන්දෙනියේ නන්ද හිමි, සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, බලංගොඩ කාශ්‍යප හිමි, උමන්දාවේ සමන්තභද්‍ර හිමි, මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, කැලණිය රජමහා විහාරාධිපති මහින්ද සංඝරක්ඛිත හිමි, බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිටිති.

මෙහි දේශපාලනඥයන් සහ අනෙකුත් සංවිධාන නියෝජිතයන් ලෙස නම් කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අනුරාධ ජයරත්න, සරත් වීරසේකර, චන්න ජයසුමන, සමන් රත්නප්‍රිය, සංජීව එදිරිමාන්න, ප්‍රසන්න රණවීර, මනෝජ් ගමගේ සහ ජගත් කුමාර ඇතුළත් වේ.

මෙම කොටසේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාද නම් කර තිබේ.

සිවිල් ක්‍රියාකාරීන් ලෙස නම් කර ඇති පිරිස අතර දෑකම දුලාර ගුණතිලක, ප්‍රශාන් විමුක්ති රණහංස, අජිත් ගුණරත්න අධිකාරි, බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරිනියක ලෙස සඳහන් දුලිකා, සමාජ ක්‍රියාකාරිනියක ලෙස සඳහන් නදීනි ගීත්මා, වානක බණ්ඩාර ගුණතිලක, කිත්සිරි රාජපක්ෂ, අජිත එදිරිසිංහ, අසේල සම්පත් සහ ජගත් හේමන්ත ඇතුළු පිරිසක් සිටී.

ජනාධිපති ලේකම්වරයා සාකච්ඡා කළත් විරෝධතාව අත්හැර නැතැයි පොලීසියෙන් කරුණු

අධිකරණයෙන් මෙම නියෝගය ඉල්ලා සිටිමින් පොලීසිය කරුණු දක්වා ඇත්තේ අදාළ විරෝධතාකරුවන්ට සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත්, ඒවා සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් අවස්ථා ලබා දී තිබියදී ඔවුන් කලහකාරී ආකාරයෙන් හැසිරෙමින් අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටින බව පවසමිනි.

මෙම විරෝධතාව ආරම්භ වූයේ ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල මහමළුවේදීය. එහි සිට පාගමනින් කොළඹ බලා පැමිණි විරෝධතාකරුවන් ඔක්තෝබර් 15 වැනිදා සවස ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබුණි.

මහනුවර සිට දින ගණනාවක් පුරා පාගමනින් පැමිණීමට පොලීසිය ඉඩ ලබා දී තිබූ බවත්, කොළඹට පැමිණි පසුවද ඔවුන්ට විරෝධතාව පැවැත්වීමට අවස්ථාව ලබා දී තිබූ බවත් පොලීසිය අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට සවන් දීම සඳහා ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා එම ස්ථානයට පැමිණ සාකච්ඡා කළ බවත්, අදාළ ඉල්ලීම් සලකා බලා විසඳුමක් ලබා දීමට කාලයක් අවශ්‍ය බව දැනුම් දුන් බවත් පොලීසිය සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති විරෝධතාකරුවන් හමුවී ඇති අතර, ජනාධිපතිවරයාට ඉල්ලීම දැනුම් දී ඇති බවත් අදාළ නීතිමය හා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට සිදුවන බවත් ඔවුන් දැනුම් දී ඇත.

එහෙත්, තම ඉල්ලීම්වලට නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබුණි.

ඊයේ රාත්‍රියේ විරෝධතාව හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග තදබදයක් හටගෙන තිබූ අතර, පසුව පිරිස මාර්ගයෙන් ඉවත්ව පදික වේදිකාවට ගොස් ඇති බවද වාර්තා වේ.

මෙවැනි පසුබිමක් යටතේ, සාකච්ඡාවලින් පසුවද විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටීම මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් බව පොලීසිය අධිකරණයට පෙන්වා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට එරෙහි විරෝධතාවක් බවත් පොලීසිය කියයි

මෙම විරෝධතාව පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවක් සම්බන්ධයෙන් බවද පොලීසිය අධිකරණයට පෙන්වා දී තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 2018 වසරේ නියම කළ වසර හයක සිරදඬුවම ක්‍රියාත්මක වෙමින් පවතින අතර, උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණ වේ.

ඥානසාර හිමියන්ට 2019 මැයි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 10 වැනිදා බලරහිත කළේය. එම සමාව අභියෝගයට ලක් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්වයන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

අනතුරුව ඔක්තෝබර් 5 වැනිදා අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ගේ සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලද අතර, ඒ අනුව උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කරන ලදී.

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසත්, භික්ෂූන් වහන්සේලාගේ සිවුරු සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් ක්‍රියාත්මක කරන නීතිමය පිළිවෙත වෙනස් කරන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

තහනම පනවා ඇති මාර්ග සහ ප්‍රදේශ

පොලීසියේ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ නවවැනි පරිච්ඡේදයේ විධිවිධාන අනුව, විශේෂයෙන් එහි 106(1) වගන්තිය ප්‍රකාරව ආඥාව නිකුත් කර තිබේ.

එම ආඥාව අනුව අද (16) උදෑසන 6.00 සිට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වාත්, එන්.එස්.ඒ. වටරවුමේ සිට බාලදක්ෂ මාවත හරහා ගාලු මුවදොර වටරවුම දක්වාත් වන මාර්ග අවහිර නොකළ යුතු බව නියම කර ඇත.

ඊට අමතරව මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගවල මෙන්ම අදාළ අධිආරක්ෂිත කලාපය තුළ අවහිර වන ආකාරයෙන් රැඳී නොසිටිය යුතු බවද නියම කර තිබේ.

පොදු සහ පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසද ආඥාවෙන් දැනුම් දී ඇත.

මෙම ප්‍රදේශයේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රටේ ආර්ථික හා පරිපාලන කටයුතුවලට අතිශය වැදගත් ආයතන පිහිටා ඇති බව පොලීසිය අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.

එවැනි ස්ථානවලට ප්‍රවේශ වීමට ඇති මාර්ග අවහිර වීම රාජ්‍ය ආයතනවල කටයුතුවලටත්, මහජනතාවගේ ගමනාගමනයටත් බාධාවක් විය හැකි බව පොලීසියේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව මහජන පීඩාවක් ඇති වන ආකාරයේ ක්‍රියා, මාර්ග අවහිර කිරීම් සහ දේපළවලට හානි සිදු කිරීම වැළැක්වීම මෙම ආඥාවේ මූලික අරමුණ වී ඇත.

සාමකාමී විරෝධතාව සම්පූර්ණයෙන් තහනම් කර නැහැ

මෙම නියෝගය සම්බන්ධයෙන් සැලකිය යුතු නෛතික කරුණක් වන්නේ අදාළ ලේඛනයේ සාමකාමී ලෙස විරෝධතා දැක්වීමේ අයිතිය සම්පූර්ණයෙන් අත්හිටුවන බවක් සඳහන් නොවීමයි.

එහි නිශ්චිතව දක්වා ඇත්තේ අදාළ මාර්ග අවහිර කිරීම, රජයේ ප්‍රධාන ආයතන අසල සහ අධිආරක්ෂිත කලාපයේ අවහිරතා ඇති වන ආකාරයෙන් රැඳී සිටීම සහ පොදු හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැළැක්වීමට අදාළ නියෝගයන්ය.

ඒ අනුව මෙම ආඥාව සාමකාමී විරෝධතාවක් පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරන නියෝගයක් ලෙස අර්ථ දැක්වීමට වඩා, නිශ්චිත ප්‍රදේශවල මහජන පීඩාවක් හා අවහිරතා ඇතිවීම වැළැක්වීම සඳහා නිකුත් කළ නියෝගයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

එසේම ආඥාවට යටත් වන පුද්ගලයන් නමින් සඳහන් කර තිබීමෙන් පමණක් ඔවුන් සියලුදෙනාම කලහකාරී ලෙස හැසිරුණු බව හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කළ බව අධිකරණය තීන්දු කර ඇතැයි අදහස් නොවේ.

මෙම ආඥාව නිකුත් කර ඇත්තේ අනාගතයේදී මහජන පීඩාවක් හෝ නීතිවිරෝධී අවහිරතාවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් පොලීසිය කළ ඉල්ලීමක් මතය.

ඒ අනුව දින ගණනාවක් මහනුවර සිට කොළඹට පැමිණ, ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩ විරෝධතාවක නිරත වූ භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ට සහාය දැක්වූ දේශපාලනඥයන් ඇතුළු පිරිසට සිය විරෝධතාව ඉදිරියට ගෙන යාමේදී අධිකරණ ආඥාවේ සඳහන් සීමාවන්ට යටත්ව කටයුතු කිරීමට සිදුව තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading