ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඉදිරිපිට ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල සහ කූඩාරම් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව ඉවත් කර ගැනීමට සත්යග්රහයේ නිරත හිමිවරුන් පියවර ගෙන තිබෙනවා.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් මහා සංඝරත්නයේ ප්රමුඛත්වයෙන් ආරම්භ කෙරුණු ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් ඊයේ දිනයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අභියස මාර්ගයේ රැඳී සිටිමින් මෙම සත්යග්රහය තුළ නිරත වුණා.
කෙසේවෙතත් අදාළ ප්රදේශය දැඩි ආරක්ෂක කලාපයක් වන බැවින් එහි විරෝධතාවල නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
එම කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර පොලිස් නිලධාරීන් විසින් එම අධිකරණ ආඥාව විරෝධතාවයේ රැඳී සිටි පාර්ශ්වයන් වෙත කියවා භාරදීමට කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව මාර් ගය අවහිර වන අයුරින් සකසා තිබූ තාවකාලික ආවරණ සහ අට්ටාල එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නිකුත් කළ නියෝගයට අනුව පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 30 නමකටත්, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලනඥයන් 18 දෙනෙකුටත්, සිවිල් පුද්ගලයන් 11 දෙනෙකුටත් මහජන පීඩාවක් වන ආකාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ආසන්නයේ රැඳී සිටීම තහනම් කරනු ලැබුවා.
මෙම පිරිසට දින පහක් තිස්සේ මහනුවර සිට කොළඹ දක්වා පා ගමනින් පැමිණීමට ආරක්ෂක අංශ ඉඩකඩ සලසා දී තිබූ අතර කොළඹට පැමිණීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති කාර්යසාධන ප්රධානියා පැමිණ ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දී විසඳුම් ලබාදීමට කාලය ඉල්ලා තිබුනා.
එසේ තිබියදීත් එය නොතකා පිරිස කලහකාරී ලෙස රැඳී සිටි බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.
