අධිකරණ ක්රියාවලියකින් සිරගත වූ ඥානසාර හිමියන් සම්බන්ධව ඉදිරි උපදෙස් ලබා ගත යුත්තේ අධිකරණයෙන්ම බව අගමැතිනී හරිනි අමරසූරිය පවසයි.
වත්මන් පාලනය සෑම විටම කටයුතු කරන්නේ රටේ ව්යවස්ථාවට, අධිකරණයට හා සම්ප්රදායට ගරු කරමින් බවද ඇය කීවාය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්රයන් වහන්සේ දෙනම 15 දා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දක්වමින් අගමැතිනිය වැඩිදුරටත් පැවසුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතා රටේ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් සෑම වෙලාවකම තීන්දු තීරණ ගන්නා නායකයෙකු බවයි.
නිවැරදි තීන්දුව නියම වෙලාවට ගන්නා බව ප්රායෝගිකව ඔප්පු කර තිබෙන ජනපතිවරයා ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම තීරණ ගනු ඇති බවද ඇය පැවසුවාය.
වත්මන් ආණ්ඩුව බෞද්ධාගමට ලබාදෙන ගෞවරය හා තැන සම්බන්ධව ප්රතිවාදීන් සිදු කරන වැරදි මත මල්වතු මහානායක ස්වාමින්ද්රයන් වහන්සේගේ ප්රකාශයෙන් නිවැරදි වන බවත් ඒ පිළිබඳව ඉන් එහා යමක් කීමට අවශ්යය නොමැති බවත් හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
මහනායක ස්වාමින්ද්රයන් වහන්සේට එවැනි ප්රකාශයක් කිරීමට හැකි වුණේ. බෞද්ධාගම ආරක්ෂා කර පෝෂණය කිරීම සඳහා කටයුතු කරන බව වත්මන් රජය ක්රියාවෙන් ඔප්පු කර තිබෙන නිසා බවත් ඉදිරියටද එය ඒ ආකාරයෙන්ම සිදුවන බවත් අගමැතිනිය කීවාය.
වෙනත් ආගම් අදහන අයටද තමන්ගේ ආගම අදහන්න නිදහස තහවුරු කර තිබෙන බවද ඇය පැවසුවාය.
