කාවන්තිස්ස ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව වනජීවි දෙපාර්තමේන්තුව ප්රකාශ කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පවසුවේ, අනතුරුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ නිළධාරීන්ද ඇතුළුව විශේෂඥ කණ්ඩායමකට ඇතාගේ සිරුර යොමුකර මරණයට හේතුවූ කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටී කාවන්තිස්ස ඇතා ඊයේ(16) පස්වරුවේ මිය ගියහ.
කාවන්තිස්ස , මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකට වේ.
කෙසේ වෙතත්, ඇතාගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට අදාල වන නෛතික ප්රතිපාදන සීමිතය. පශ්චාත් මරණ පරීක්ෂණය ලෙස හැදින්වුවද එය සිදු කරන්නේ කෙලෙසද යන්න තවමත් නිශ්චිත නොවේ.
කෙසේ වෙතත්, කාවන්තිස්ස මියගියේ ශ්රී ලංකාවේ අභියාචනාධිකරණය වන අලියෙකු නඩුවක පෙත්සම්කරුවෙකු ලෙස පිළිගැනීමෙන් මාසයක් ගතවීමටත් පෙරය.
අලියෙකුගේ මරණය අපරාධයක් නොවේද?
ශ්රී ලංකාවේ අපරාධ නීතියේ මනුෂ්ය ඝාතනය සම්බන්ධයෙන් පවතින විධිවිධාන අලියෙකුගේ මරණයකට ඒ ආකාරයෙන්ම අදාළ නොවේ. එහෙත් අලියෙකු නීති විරෝධීව මරාදැමීම අපරාධයකි.
1937 අංක 2 දරන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ, නීතියෙන් අවසර ලබාදී ඇති අවස්ථාවන් හැර ජාතික රක්ෂිත සහ අභයභූමිවලින් පිටතදී පවා අලියෙකුට වෙඩි තැබීම, තුවාල කිරීම හෝ මරාදැමීම තහනම් කර තිබේ.
එම ආඥාපනතේ 20(1)(අ) වගන්තිය යටතේ නීති විරෝධීව අලියෙකුට වෙඩි තැබීම, මරාදැමීම, තුවාල කිරීම, විදුලි රැහැනක් හෝ වෙනත් උපකරණයක් මඟින් හානි කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධ වේ.
එහි 67ඈ වගන්තිය මඟින් වනජීවී සංරක්ෂණ බලධාරීන්ට අදාළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ බලතල ලබාදී තිබේ. 67ඉ වගන්තිය මඟින් අපරාධ නඩු විධාන සංග්රහ පනතේ විමර්ශන ක්රියාපටිපාටි අදාළ කරගැනීමටද විධිවිධාන සලසා තිබේ.
ඒ නිසා කාවන්තිස්සට නීති විරෝධී වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ නම්, එය වෙනම අපරාධ විමර්ශනයකට යටත් කළ හැකිය.
එහෙත් කාවන්තිස්සගේ මරණය පිළිබඳව අද පවතින විවාදය එම වෙඩි ප්රහාරයට පමණක් සීමා නොවේ.
ඇතාගේ තුවාලය හඳුනාගත් ආකාරය, ලබාදුන් ප්රතිජීවක ඖෂධ, නිර්වින්දනය, රුධිර සහ අනෙකුත් සාම්පල පරීක්ෂණ, රෝග විනිශ්චය, ප්රතිකාර කණ්ඩායම් මාරු කිරීම, අඛණ්ඩ නිරීක්ෂණය සහ හදිසි ප්රතිකාර සඳහා පැවති සූදානම පිළිබඳ බරපතළ ප්රශ්න මතුව තිබේ.
මේ ප්රශ්නවලට පිළිතුරු සෙවීමට සාමාන්ය අපරාධ විමර්ශනයක් හෝ මරණයට හේතුව නිශ්චය කරන පශ්චාත් මරණ පරීක්ෂණයක් පමණක් ප්රමාණවත් නොවිය හැකිය.
මෙහිදී අවශ්ය වන්නේ සමස්ත ප්රතිකාර ක්රියාවලිය සහ පරිපාලන තීරණ පිළිබඳ විද්යාත්මක, ස්වාධීන සහ විනිවිදභාවයකින් යුත් සමාලෝචනයකි.
එවැනි විමර්ශනයක් පැවැත්වීමට අදාළ බලධාරීන් අසමත් වුවහොත් හෝ එය ප්රතික්ෂේප කළහොත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටීමට හැකිද?
මෙයට පිළිතුරු සැපයීම සඳහා ශ්රී ලංකාවේම අධිකරණ තීන්දු කිහිපයක් වැදගත් නෛතික පදනමක් සපයයි.
1. වන අලියෙකු අධිකරණය හමුවට ගෙන ආ 2026 ඓතිහාසික තීන්දුව
2026 සැප්තැම්බර් 10 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය ඩී. එෆ්. එච්. ගුණවර්ධන ලබාදුන් Centre for Eco-Cultural Studies and Another v. Hon. Attorney General and Others, CA (Writ) 318/2025 තීන්දුව මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත්ය.
එම නඩුවේ දෙවැනි පෙත්සම්කරු වූයේ ගල්ඔය–මින්නේරිය ප්රදේශයේ ජීවත්වූ Elephant X නමින් හඳුන්වන වන අලියෙකි.
දුම්රිය අනතුරකින් අලි රංචුවක සතුන් හත්දෙනෙකු මියගිය අතර, තුවාල ලබා දිවි ගලවාගත් එම අලියා වෙනුවෙන් පරිසර හා සංස්කෘතික අධ්යයන මධ්යස්ථානය අභියාචනාධිකරණයට පැමිණියේය.
විනිසුරුවරයා තීන්දුවේ තුන්වැනි පිටුවේදී වැදගත් නෛතික ප්රශ්නයක් මතු කළේය. ශ්රී ලංකාවේ සත්ත්වයන් දේපළ ලෙස සලකන නමුත්, අලියෙකුට තම අයිතිවාසිකම් අධිකරණයක් මඟින් ප්රකාශයට පත්කරවා ගැනීමට ඉල්ලා සිටිය හැකිද යන්න ඔහු විමසීය.
මෙහිදී ඉක්වදෝරය, ඉන්දියාව, ආර්ජන්ටිනාව සහ පාකිස්තානය ඇතුළු රටවල සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ නඩු තීන්දු උපුටා දැක්විණි.
අධිකරණය නඩුවේ දෙවැනි පෙත්සම්කරු වූ අලියාට නඩුකරය සම්බන්ධයෙන් පෞද්ගලික උනන්දුවක් ඇති බව පිළිගත්තේය.
එමෙන්ම අලියාට ස්වයංව අධිකරණය හමුවට පැමිණිය නොහැකි බැවින් පළමු පෙත්සම්කරුට ඔහු වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස පෙනී සිටීමට ඉඩදී තිබිණි.
තීන්දුවේ 14 වැනි පිටුවේදී විනිසුරුවරයා කළ ප්රකාශය තවත් වැදගත්ය.
“එබැවින් දෙවැනි පෙත්සම්කරු ආරක්ෂා කිරීම අපගේ යුතුකමයි.”
මෙම නඩුවෙන් ශ්රී ලංකාවේ සියලු අලි ඇතුන්ට පූර්ණ නෛතික පුද්ගලභාවයක් ප්රදානය කර නොතිබුණද, සත්ත්වයෙකුගේ අවශ්යතා නීතිය ඉදිරියේ නියෝජනය කිරීමේ හැකියාව පිළිගැනිණි.
ඊටත් වඩා වැදගත් වූයේ එම නඩුවේ ලබාදුන් සහනයයි.
පෙත්සමේ (d) ඉල්ලීමෙන් දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, මධ්යම පරිසර අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව, සිවිල් සමාජ නියෝජිතයන් සහ අලි ඇතුන් පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කමිටුවක් පිහිටුවීමට ඉල්ලා තිබුණි.
අභියාචනාධිකරණය අවසානයේ එම (d) ඉල්ලීම ඇතුළු (b) සහ (c) ඉල්ලීම්වලට අනුව සහන ලබාදුන්නේය.
එක් වන අලියෙකුගේ අනතුරක් පදනම් කරගෙන, අනෙකුත් අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා විශේෂඥ සහ සිවිල් සමාජ සහභාගීත්වයෙන් යුතු ක්රියාකාරී යාන්ත්රණයක් සකස් කිරීමට අධිකරණයෙන් සහනයක් ලබාගත හැකි බව එම තීන්දුව පෙන්වා දෙයි.
කාවන්තිස්ස මියගොස් ඇති බැවින් ඔහු ජීවත්ව සිටින පෙත්සම්කරුවෙකු ලෙස සලකා නව නඩුවක් ගොනු කිරීම සරල කාරණයක් නොවේ. එහෙත් ඔහුගේ මරණය පිළිබඳ විමර්ශනය කිරීමේ රාජ්ය වගකීම ක්රියාත්මක කරවාගැනීමට පරිසර සංවිධානවලට තමන්ගේම නමින් මහජන යහපත වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ නෛතික මාවත විවෘතව පවතී.
2. හබරණ අලින් හත්දෙනාගේ මරණය ගැන අධිකරණයට ගිය නඩුව
මෙයට වඩාත් සෘජු සමානකමක් දක්වන්නේ 2020 පෙබරවාරි 10 වැනිදා පරිසර යුක්ති කේන්ද්රය ගොනු කළ CA/Writ/26/2020 පෙත්සමයි.
2019 සැප්තැම්බර් මාසයේදී හබරණ හිරිවඩුන්න ප්රදේශයේදී අලින් හත්දෙනෙකු මියගොස් සිටියදී හමුවීම එම නඩුවට පසුබිම් විය.
මරණවලට හේතුව වස දීමක් බවට සැක මතු වී තිබුණත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සහ නිල තොරතුරු පිළිබඳ ගැටලු පැවතිණි.
පරිසර යුක්ති කේන්ද්රය මෙම පෙත්සම ගොනු කළේ පරිසර හා වනජීවී සම්පත් අමාත්යවරයා, පොලිස්පතිවරයා, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමිනි.
එහිදී මියගිය අලින් හත්දෙනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.
අලින් ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්රතිපත්තියක්, මාර්ගෝපදේශ සහ කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමටද නියෝගයක් ඉල්ලා තිබුණි.
කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන්ද මෙවැනිම රිට් පෙත්සමක් ගොනු කිරීමට මෙම නඩුවේ පූර්වාදර්ශමය අත්දැකීම උපයෝගී කරගත හැකිය.
3. පරිසර සංවිධානවලට අධිකරණයට යාමේ අයිතිය: 1996 නඩු තීන්දුව
Environmental Foundation Ltd. v. Minister of Public Administration and Six Others, CA 137/96, [1997] 2 Sri LR 306 නඩුවද මෙහිදී සුවිශේෂී වැදගත්කමක් දරයි.
1996 දෙසැම්බර් 17 වැනිදා ආචාර්ය රණරාජ අභියාචනාධිකරණ විනිසුරුවරයා ලබාදුන් මෙම තීන්දුවේදී, පෞද්ගලික සත්වෝද්යානයකට සතුන් ළඟ තබාගැනීම සඳහා ලබාදුන් අවසරයක් අභියෝගයට ලක්කළ පරිසර පදනමට නඩුව ගොනු කිරීමට නෛතික උනන්දුවක් තිබෙන බව පිළිගත්තේය.
තීන්දුවේ වැදගත්ම නෛතික නිගමනය වූයේ පැමිණිලි කරන කරුණ සම්බන්ධයෙන් සැබෑ උනන්දුවක් ඇති පාර්ශ්වයක් ලෙස පෙත්සම්කරුට අධිකරණයට පැමිණීමට හැකියාව ඇති බවයි.
4. විල්පත්තු නඩුව: සිදුවීම අවසන් වූ පසුවත් අධිකරණයට මැදිහත් විය හැකිය
2020 නොවැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ලබාදුන් Centre for Environmental Justice v. Conservator General of Forests and Others, CA/Writ/291/2015 තීන්දුව මෙහිදී තවත් වැදගත්ය.
විල්පත්තු ආශ්රිත රක්ෂිත වනාන්තරවල නීති විරෝධී එළිපෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ගොනුකළ එම පෙත්සමේදී, අදාළ ක්රියාකාරකම් මේ වනවිටත් සිදුවී අවසන් බැවින් අධිකරණයෙන් සහනයක් ලබාදීම නිෂ්ඵල බවට තර්කයක් ඉදිරිපත් විය.
එම තර්කය විනිසුරුවරයා ප්රතික්ෂේප කළේය.
සිදුවීම අවසන් වී තිබීම, යුක්තිය ඉටුකිරීමට සහ නීතියේ ආධිපත්යය ආරක්ෂා කිරීමට අවශ්ය නියෝග ලබාදීමෙන් අධිකරණය වැළැක්විය යුතු නැති බව ඔහු පැහැදිලි කළේය.
එම නඩුවේදී රක්ෂිත වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් නැවත වන වගා වැඩසටහනක් ක්රියාත්මක කිරීමට නියෝග ලබාදුන් අතර, ඒ සඳහා වන වියදම දැරීම පිළිබඳවද නියෝග නිකුත් කෙරිණි.
මෙම තීන්දුව තුළින් වැදගත් නෛතික මූලධර්මයක් හෙළි වේ. පරිසරයට සිදුවූ හානියක් ආපසු හැරවිය නොහැකි වුවත්, එම හානියට සම්බන්ධ නීතිමය වගකීම් සහ අනාගත වැළැක්වීමේ ක්රියාමාර්ග සඳහා අධිකරණය මැදිහත් විය හැකි බවයි.
කාවන්තිස්සගේ ජීවිතය නැවත ලබාදිය නොහැකිය. නමුත් ඔහුගේ මරණයට හේතුවූ සාධක අනාවරණය කරගැනීමෙන් තවත් ඇතුන් මරණයට පත්වීම වැළැක්වීමට හැකියාව තිබේ.
5. ව්යවස්ථාවෙන් සහ වනජීවී නීතියෙන් මතුවන වගකීම
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 27(14) ව්යවස්ථාව මඟින් ප්රජාවගේ යහපත සඳහා පරිසරය ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම රාජ්යයේ ප්රතිපත්තිමය වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.
28(ඊ) ව්යවස්ථාවෙන් සොබාදහම ආරක්ෂා කිරීම සහ එහි සම්පත් සංරක්ෂණය කිරීම සෑම පුද්ගලයෙකුගේම යුතුකමක් ලෙස දක්වා තිබේ.
එහෙත් 29 ව්යවස්ථාව අනුව මෙම රාජ්ය ප්රතිපත්ති මූලධර්ම සහ මූලික යුතුකම් තනිවම අධිකරණයෙන් බලාත්මක කළ හැකි අයිතිවාසිකම් නොවේ.
ඒ නිසා කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන විමර්ශනයක් ඉල්ලා සිටීමට 27(14) හෝ 28(ඊ) ව්යවස්ථාව පමණක් ප්රමාණවත් නොවේ.
නමුත් මෙම ව්යවස්ථාමය මූලධර්ම, සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ නෛතික වගකීම් සමඟ ඒකාබද්ධ කරමින් තර්ක කළ හැකිය.
එම ආඥාපනතේ 68අ වගන්තිය යටතේ වනජීවී සංරක්ෂණය සඳහා ජාතික හා ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල සැලසුම් සහ වැඩසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට වගකීම් පවරා තිබේ.
68ආ වගන්තිය අනුව නීතිය ක්රියාත්මක කිරීමට අවශ්ය මාර්ගෝපදේශ සකස් කිරීමේ බලය සහ වගකීමද එම නිලධාරියාට තිබේ.
70 වගන්තිය යටතේ වනජීවී හා වෘක්ෂලතා සම්බන්ධයෙන් උපදෙස් සහ නිර්දේශ ලබාදෙන උපදේශක කමිටුවක් පත්කිරීමට අමාත්යවරයාට බලතල තිබේ.
මේ විධිවිධාන ස්වාධීන මරණ පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ ස්වයංක්රීය අයිතියක් ලබා නොදෙන නමුත්, අවශ්ය විශේෂඥ සමාලෝචනයක් සකස් කිරීමේදී භාවිත කළ හැකි නීතිමය හා පරිපාලන බලතල පවතින බව පෙන්වා දෙයි.
6. කාවන්තිස්ස වෙනුවෙන් ඉල්ලා සිටිය යුතු සහන මොනවාද?
කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් මහජනතාව ඉදිරියේ ඇති ප්රශ්න දෙකක් පැහැදිලිව වෙන්කරගත යුතුය.
පළමුව, ඇතාට වෙඩි තැබීමක් සිදුවූයේද, එසේ නම් එය සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳ අපරාධ විමර්ශනයයි.
දෙවනුව, කාවන්තිස්සට ප්රතිකාර කළ ආකාරය, වෛද්ය තීරණ සහ රාජ්ය ආයතනවල ප්රතිචාරය පිළිබඳ ස්වාධීන විශේෂඥ සමාලෝචනයයි.
දැනට මරණ පරීක්ෂණය සදහා අධිකරණ නියෝග ඉල්ලා සිටීම වැදගත් පියවරකි. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණය සහ සති තුනක ප්රතිකාර ක්රියාවලිය පිළිබඳ ස්වාධීන විමර්ශනය එකම දෙයක් නොවේ.
පරිසර සංවිධානවලට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 140 වැනි ව්යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර, අදාළ රාජ්ය ආයතනවල ව්යවස්ථාපිත වගකීම් ක්රියාත්මක කරවන මැන්ඩාමස් ආඥාවක් ඇතුළු සුදුසු සහන ඉල්ලා සිටීම සලකා බැලිය හැකිය.
එහිදී ඉල්ලා සිටිය හැකි සහන අතර,
- කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, ප්රතිකාර වාර්තා, රුධිර හා අනෙකුත් පරීක්ෂණ ප්රතිඵල, ලබාදුන් ඖෂධ හා මාත්රා, නිර්වින්දන වාර්තා සහ වෛද්ය තීරණ සම්බන්ධ ලේඛන ආරක්ෂාකර සුදුසු නීතිමය ක්රියාවලියකින් සමාලෝචනයට ලබාගැනීම.
- ප්රතිකාර කණ්ඩායම්වලට සෘජුව සම්බන්ධ නොවූ පශු වෛද්ය විශේෂඥයන්, වනජීවී වෛද්ය විද්යාව පිළිබඳ ප්රවීණයන් සහ අවශ්ය අධිකරණ වෛද්ය හා විද්යාත්මක දැනුම සහිත විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විනිවිදභාවය සහතික කරන සමාලෝචන ක්රියාවලියක් ස්ථාපිත කිරීම.
- සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 16 දක්වා සිදුවූ ප්රතිකාරවල සම්පූර්ණ කාලරේඛාවක් සහ එම තීරණවලට පාදක වූ වෛද්ය සාක්ෂි පරීක්ෂා කිරීම.
- වෙඩි තුවාලයක් පිළිබඳ පවතින පරස්පර නිල ප්රකාශ සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම් වූ විමර්ශනයක් සිදුකිරීම සහ අවශ්ය නම් අදාළ අපරාධ විමර්ශන බලධාරීන්ගේ ක්රියාකාරිත්වය පරීක්ෂාවට ලක්කිරීම.
- විශේෂඥ සමාලෝචනයෙන් හඳුනාගන්නා පද්ධතිමය දුර්වලතා නිවැරදි කිරීමට ජාතික වන අලි හදිසි ප්රතිකාර මාර්ගෝපදේශ සහ අධීක්ෂණ ක්රමවේදයක් සකස් කිරීම.
- ඉහත ක්රියාමාර්ගවල ප්රගතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අධිකරණයට වාර්තා කිරීම.
යන ඉල්ලීම් ඇතුළත් කළ හැකිය.
