අධිකරණය සහ ශ්රේෂ්ඨාධිකරණය ලබා දෙන අවසන් තීන්දු හා දඬුවම්වලට රජය කොන්දේසි විරහිතව යටත් වන බැවින් ඊට එරෙහිව හෝ ඉන් ඔබ්බට ගිය කිසිදු දේශපාලනික මැදිහත්වීමක් විශේෂ තීරණයක් හෝ සමාවක් විධායකය වෙතින් කිසිවකුත් බලාපොරොත්තු නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අධිකරණ පද්ධතිය විසින් ලබා දෙන තීන්දුවලට සියලු දෙනා යටත් විය යුතු බවත් ඉන් පරිබාහිරව දඬුවම්වලින් නිදහස් වීමට හෝ තීන්දු වෙනස් කරවා ගැනීමට ආණ්ඩුවෙන් කිසිදු අවස්ථාවක් නොලැබෙන බවයි.
නීතිය තමන් වෙත කිසිදා ළඟා නොවනු ඇතැයි විශ්වාස කළ පිරිස් වෙත නීතිය ක්රියාත්මක වීමත් සමඟ මේ දිනවල දැඩි කලබලයක් නිර්මාණය වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා අතීතයේ දී එවැනි පුද්ගලයන් වටා තිබූ ආරක්ෂක තාප්ප හමුවේ නීතිය අළු වී ගියද අද වන විට නීතිය කාටත් සමාන ලෙස ක්රියාත්මක වන බව පෙන්වාදුන්නා.
පැරණි ක්රමය තුළ වරප්රසාද සහ අනවශ්ය රැකවරණය ලබා නීතිය හමුවේ තමන්ට දඬුවම් හිමි වන බව දැනෙන පිරිස් ඊට එරෙහිව හඬ නඟමින් සිටින්නේ එම පසුබිම තුළ බවද ජනාධිපතිවරයා පැවසුවා.
ජනාධිපතිවරයා පවසන්නේ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන අණපනත්වලට අනුව නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මඟින් සිදු කරන බවත් ඊට අදාළ විමර්ශන පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් සිදු කරන බවයි.
එම නීති කෘත්යයන් විභාග කර අවසන් තීන්දු ලබා දීම අධිකරණයට සහ ශ්රේෂ්ඨාධිකරණයට පැවරී ඇති වගකීමක් බව පැවසූ ජනාධිපතිවරයා, එම ආයතනවලට ස්වාධීනව ක්රියාත්මක වීම සඳහා අවශ්ය බලය ලබා දී ඇති බවද සඳහන් කළා.
ශ්රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් පසු “එය ඉවත් කරන්නැයි” බලපෑම් කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අධිකරණ පද්ධතිය ලබා දෙන නිවැරදි තීරණ පිළිගැනීමට අකමැති අයට ඊට විරුද්ධව කෑගැසිය හැකි වුවද රජය සෑමවිටම ශ්රේෂ්ඨාධිකරණයේ නිගමනයන්ට යටත්ව කටයුතු කරන බවයි.
එමෙන්ම අනාගත දරුවන්ට සැබෑ රැකවරණයක් සහ සාධාරණත්වයක් හිමිවන රටක් ගොඩනැඟිය හැක්කේ නීතියේ ආධිපත්යය හා අධිකරණයේ ස්වාධීන තීන්දු කොන්දේසි විරහිතව සුරක්ෂිත කිරීමෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
