අත්අඩංගුවට ගත් හර්ෂණගේ ඥාති සහෝදරයාගේ ආයුධ ගබඩාව ගැන අනුර බදුල්ලේදී කිව්ව කතාව!

කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ පිහිටි පැරණි සිනමා ශාලාවක් තුළ සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත ගිනි අවි, ජීව උණ්ඩ තොගයක් සහ ජීව අත්බෝම්බ සමඟ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ඥාති සොහොයුරෙකු වන චරිත් කනිෂ්ක රාජකරුණා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

37 හැවිරිදි ඔහු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දින මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිනමා ශාලාව තුළ නීතිවිරෝධී ලෙස, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 02ක්, රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 රිපීටර් වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 398ක්, බෝර 16 වර්ගයේ ජීව උණ්ඩ 35ක්, 9mm වර්ගයේ ජීව උණ්ඩ 278ක්, 32 (පොයින්ට් 32) ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 49ක්, 22 (පොයින්ට් 22) ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 3,083ක්, ජීව අත්බෝම්බ 02ක් සඟවා තිබියදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගත් බව පොලිසිය පවසනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් චරිත් කනිෂ්ක රාජකරුණා විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා බෝර 12 රිපීටර් ගිනි අවිය (01), බෝර 12 ගිනි අවිය (01), බෝර 12 ගිනි අවිය (01), 9mm වර්ගයේ ගිනි අවිය (01) යන ගිනි අවි වෙනුවෙන් නීත්‍යනුකූල බලපත්‍ර ලබාගෙන තිබූ බවටද අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් කිරිඳිවැල ප්‍රදේශයේ සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බදුල්ලේ පැවති කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා අදහස් දැක්වීමක් සිදු කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, කිරිඳිවැල ප්‍රදේශයේදී අතිවිශාල ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු කාගේ ඥාතියෙකු දැයි රජය හොඳින් දන්නා බවත් ඔහු සෙල්ලමට මෙන් මිනිසුන්ට වෙඩි තබන වීඩියෝ දර්ශන පවා පවතින බවයි.

එමෙන්ම පසුගිය කාලය පුරා මෙරට පැවති බිහිසුණු අපරාධ සංස්කෘතිය සහ සන්නද්ධ කල්ලිවල සැබෑ ස්වරූපය පිළිබඳව මෙම අත්අඩංගුවට ගැනීම මනා සාක්ෂියක් සපයන බව ජනාධිපතිවරයා පෙන්වාදෙනවා.

රිවෝල්වර් සහ පිස්තෝල ඇතුළු විශාල අවි ආයුධ ප්‍රමාණයක් එකතු කරගෙන සිටි පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව පැවසූ ජනාධිපතිවරයා, වැලිවේරිය සහ කිරිඳිවැල ආශ්‍රිතව මෙම ක්‍රියාකාරකම් සිදුව ඇති බවත් එම සැකකරුගේ ඥාති සබඳතා පිළිබඳව බලධාරීන් පූර්ණ වශයෙන් දැනුවත්ව සිටින බවත් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් අනාගත දරු පරපුර වෙනුවෙන් සුරක්ෂිත සහ රැකවරණය සහිත දේශයක් ගොඩනැගීමට නම් මෙරට වෙළාගෙන ඇති පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මුළුමනින්ම විනාශ කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පවසනවා.

සමාජය තුළ භීෂණය වපුරමින් නීතිවිරෝධී අවි ආයුධ භාවිත කරන මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading