කථානායක වෛද්ය ජගත් විජේනායකට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ආණ්ඩුව දින ලබාදීම ප්රතික්ෂේප කර තිබේ.
අද (ඔක්තෝබර් 16) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම ප්රතික්ෂේප කිරීම සිදුකර තිබේ.
එම ප්රතික්ෂේප කිරීමට හේතුව වශයෙන් ආණ්ඩුව දැනුම් දී ඇත්තේ එම විශ්වාශභංග යෝජනාවේ ඇති සමහර කරුණු අධිකරණය හමුවේ විභාග වන හෙයින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසීමෙන් පසු විවාදය පිළිබඳ දින තීරණය කළ හැකි බවයි.
වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පිළිබඳ කරුණු එම විශ්වාශභංග යෝජනාවට ඇතුළත් වීම ඒ සඳහා හේතු වී තිබේ.
කථානායකවරයාට එරෙහි විශ්වාශභංග යෝජනාවේ චෝදනා 50ක් ඇති බැවින් ඒ පිළිබඳ විවාදය සඳහා දිනක කාලයක් ප්රමාණවත් නොවන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විපක්ෂය පෙන්වා දී තිබේ.
