2016 දී යෝෂිතගේ වැටුප රු.16500 යි…

යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති අයථා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ කැඳවා ඇති අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබේ. නාවික හමුදා ලේකම් කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරියෙකු සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ලිපිකරුවෙකු මෙලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙයවීම රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා විසින් සිදු කර ඇති අතර, විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් හරස් ප්‍රශ්න මෙහෙයවා තිබේ. එහිදී, 2009 මාර්තු 31 වනදා සිට 2015 මාර්තු 31 වනදා දක්වා වූ කාලසීමාව තුළ නාවික හමුදාවේ සේවය කර ඇති විත්තිකාර යෝෂිත රාජපක්ෂ විසින් නාවික හමුදාව වෙත ඉදිරිපත් කර තිබූ වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් නාවික හමුදාවේ කපිතාන් නුවන් තුෂාර අරන්දල විසින් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.

පැමිණිල්ලේ 122 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටි නාවික හමුදා කෝමදෝරු ගාමිණී ප්‍රියදර්ශන අධිකරණය හමුවේ සාක්ෂි දෙමින්, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා විසින් නිකුත් කරන ලද ලේඛන කිහිපයක් උපුටා දක්වමින් විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාගේ වැටුප් හා දීමනා පිළිබඳ කරුණු පැහැදිලි කර ඇත. එහිදී ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, 2016 දෙසැම්බර් මාසයේදී විත්තිකරුගේ මූලික දළ වැටුප ලෙස රුපියල් 16,500ක මුදලක් ගෙවා ඉන් රුපියල් 110ක් අඩු කර තිබූ බවයි.

එමෙන්ම එම මුදල මූලික දළ වැටුප පමණක් වන බැවින් නාවික හමුදාවෙන් ගෙවනු ලබන සෙසු දීමනා ඊට ඇතුළත් නොවන බවත්, අදාළ කාල සීමාව තුළ ඔහුට ගෙවන ලද දීමනාවල වටිනාකම පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ ලේඛනවල සටහන් වී නොමැති බවත් සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා තිබේ. තවද විදේශ රටවල පුහුණු පාඨමාලා සඳහා යැවීමේදී, ඩොලර්වලින් අමතර විශේෂ ගෙවීම් සිදු කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කර තිබේ.

එහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ පාඨමාලා ගාස්තු ලෙස පවුම් 20,362ක් සහ ආහාර පාන සඳහා පවුම් 4,177.80ක මුදලක් ගෙවීමට අනුමැතිය ඉල්ලා තිබූ බවයි. එම ගෙවීම් සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබූ බව සාක්ෂිකරු පැහැදිලි කර තිබේ.

එමෙන්ම, මෙම නඩුවේ 124 වන සාක්ෂිකරු අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ 2006 වසරේ සිට 2016 පෙබරවාරි දක්වා වූ කාල සීමාව තුළ යෝෂිත රාජපක්ෂ වෙත වැටුප් සහ මූලික දීමනා ලෙස රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බවයි.

මෙලෙස සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව නැවත ඔක්තෝබර් 30 වනදා කැඳවීමට මහාධිකරණය නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading