අනෝජන් සිවරාසාට එරෙහිව පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කර, ඔහු කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස සෞදි අරාබි බලධාරීන්ගෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (ඔක්තෝබර් 7) ඉල්ලා ඇත.
අනෝජන් සිවරාසාට එරෙහි චෝදනා ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කිරීම හා සම්බන්ධ වන බැවින්, එවැනි චෝදනා මත ඔහුට මරණ දඬුවම පැනවීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව එම සංවිධානය ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ හෙබා මොරයෙෆ් පවසා ඇත්තේ, සෞදි අරාබියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ එරට අපරාධ යුක්ති පද්ධතියේ පවතින බරපතළ ගැටලු පිළිබඳව දැඩි කනස්සල්ලක් පළ කරන බවයි.
අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකු සිරගත නොකළ යුතු අතර, එවැනි ක්‍රියාවක් වෙනුවෙන් කිසිවෙකුට මරණ දඬුවමට මුහුණදීමට සිදු නොවිය යුතු බවද මොරයෙෆ් අවධාරණය කර තිබේ.
ලොව වැඩිම මරණ දඬුවම් ක්‍රියාත්මක කරන රටවල් අතර සෞදි අරාබිය ද සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. එම සංවිධානයට අනුව, 2026 ඔක්තෝබර් 5 වනදා වන විට පමණක් සෞදි අරාබියේදී අවම වශයෙන් පුද්ගලයන් 175 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
එම පිරිස අතර මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවත්, මරණ දඬුවමට ලක්වූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් විදේශීය පුරවැසියන් වන බවත්, රටවල් 20කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි අවම වශයෙන් විදේශීය පුරවැසියන් 94 දෙනෙකු මේ වසරේදී මරණ දඬුවමට ලක් කර ඇති බවත් එහි සඳහන් වේ.
සෞදි අරාබියේ බොහෝ අපරාධ සහ ඒවාට අදාළ දඬුවම් ලිඛිත දණ්ඩ නීති සංග්‍රහයක් මගින් පැහැදිලිව නිර්වචනය කර නොමැති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. ඒ වෙනුවට, විනිසුරුවරුන් ෂරියා නීතිය පිළිබඳ තමන්ගේ අර්ථකථන මත පදනම්ව තීන්දු ලබාදෙන බවද එම සංවිධානය පෙන්වා දී ඇත.
එමෙන්ම, ලිඛිත නීති පවතින අවස්ථාවලදී පවා පොදු සාමය, ආගමික වටිනාකම් සහ පොදු සදාචාරය වැනි පුළුල් හා අපැහැදිලි සංකල්ප මත පදනම් වූ ත්‍රස්ත විරෝධී සහ සයිබර් අපරාධ නීති භාවිත කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට සෞදි බලධාරීන් කටයුතු කරන බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ අයිතිය භාවිත කිරීම හේතුවෙන් පමණක් රඳවාගෙන සිටින සියලු පුද්ගලයන් වහාම නිදහස් කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි මර්දනය අවසන් කරන ලෙසත් හෙබා මොරයෙෆ් සෞදි බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
