මහබැංකුව කියන්නේ බොරු – සජිත්

2026 සමාජ ආර්ථික දත්ත සම්බන්ධයෙන් මහබැංකුව හා ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඉදිරිපත් කර ඇති වාර්තාව වැරැදි සහ අඩුපාඩු රැසක් ඇති ජනතාව නොමඟ යවන සුළු වාර්තාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම වාර්තාවේ ආර්ථික දර්ශක, සාර්ව ආර්ථික දර්ශක සඳහා 2023-2025 දත්ත භාවිතා කළත් සමාජ ආර්ථික තත්ත්වය, දුප්පත්කම, ගෘහයක ආදායම් වියදම් යන කරුණු සඳහා 2016 සහ 2019 යන වසරවල පැරණි දත්ත උපයෝගී කරගෙන මෙම වාර්තාව සකස් කර ඇති බවයි.

රු.17,315කින් එක් පුද්ගලයෙකුට ජීවත්විය හැකි බව රජය මෑත කාලයේ පැවසුවද එය බොරුවක් හා රැවටිල්ලක් බවත්, රට බංකොලොත් වූ මොහොතේ සිට මේ දක්වා ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කිරීම හෝ දරිද්‍රතා රේඛාව නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නොවැම්බර් 12 වැනිදා අයවැය ඉදිරිපත් කරන විට පවා මෙම බොරු දත්ත උපයෝගී කර ගන්නේද යන්න ප්‍රශ්න කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව දිනකට ඇමරිකානු ඩොලර් 8.3ක් හෙවත් රු.2,724ක් බවත්, මහබැංකුව හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට මෙම දත්ත ලෝක බැංකුවෙන් ලබාගත හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යාවත්කාලීන සංවර්ධන දත්ත සම්බන්ධයෙන් 2026 ලෝක බැංකු වාර්තාවට අනුව මේ වන විට රටේ දුප්පත්කම 65.4%ක් බවත්, පසුගිය කාලයේ සිදුවූ සුබසාධන අහිමිවීම බරපතළ බවත් එමෙන්ම මෙරට ගෘහයන්ගෙන් 33%ක් බරපතළ ආහාර අනාරක්ෂිතභාවයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

පැරණි දත්ත ඉදිරිපත් කර ලක්ෂ 220ක් ජනතාව රවටන්නේ නැතිව, අසම්පූර්ණ, අදක්ෂ හා අකාර්යක්ෂම ලෙස ඉදිරිපත් කර ඇති වාර්තාවේ දුප්පත්කම සහ දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් ඇති වැරදි දත්ත ඉවත් කර, නිවැරදි දත්ත මත පදනම් වූ වාර්තාවක් අයවැයට පෙර ඉදිරිපත් කරන ලෙසද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading