ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවල දෙවන සැකකාරිය වන, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කර තිබේ.
අදාළ සැකකාරිය අධිකරණය මගහැර විදේශගතව සිටීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විටත් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අතර මෙම නඩුවේදී සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිට ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක ය.
රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදාහැර තිබූ අතර, ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එම ඇප මුදල් රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අද දින විවෘත අධිකරණයේ පෙනී සිටි ඇපකරුවන් වන අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඇත්තේ නියමිත ඇප මුදලින් රුපියල් මිලියන 20ක මුදලක් අද දිනම අධිකරණය හමුවේ තැන්පත් කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, පොරොන්දු වූ පරිදි රුපියල් මිලියන 20ක මුදල අද දින අධිකරණයට බාරදෙන ලෙසත්, ඉතිරි රුපියල් මිලියන 20ක මුදල ලබන ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ගෙවා නිමකරන ලෙසත් ඇපකරුවන්ට නියෝග කර තිබේ.
