‘Monetization’ හින්දා ළමා ආරක්ෂාව අනතුරක! දරුවන්ගේ වීඩියෝ දාන දෙමාපියන්ට දැඩි අවවාදයක්!

සමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මූලාශ්‍ර කරගනිමින් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ බරපතළ අවදානමක් සහ දරුවන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් අද (29) නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් කළා.

එම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ දෙමව්පියන්ගේ අවසරය සහිතව හෝ රහිතව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදා ගන්නා බවද තහවුරු වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

විශේෂයෙන්ම විවිධ වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශවයන් වෙත නිරාවරණය වීමෙන් ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළා.

ඊට අමතරව අන්තර්ජාලයට එක්කරන මෙවැනි ඡායාරූප සහ වීඩියෝ පට මූලාශ්‍ර කරගනිමින්, නවීන කෘත්‍රිම බුද්ධිය භාවිත කර අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ දැඩි අනතුරක්ද මතු වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

එබැවින් මෙවැනි බරපතළ අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ භාරය සහ ආරක්ෂාව දරන්නන්ගෙන් ඉල්ලා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading