ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග ඊයේ (සැප්තැම්බර් 28) සමත් වී තිබේ.
ඒ මීටර් 88.55ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
වර්ෂාව හේතුවෙන් මෙම ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුව තිබූ අතර, රුමේෂ් තරංග සිය පළමු උත්සාහයේදී මීටර් 73.53ක දක්ෂතාවක් වාර්තා කර තිබේ.
ඒ අනුව පළමු වට තුන අවසානයේ රුමේෂ් පසුව ඇත්තේ තෙවැනි ස්ථානයේය.
තුන්වැනි වටය අවසානයේ ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු පෙරමුණ ගෙන සිට ඇති අතර, සිය සිව්වැනි උත්සාහයේදී මීටර් 88.33ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් තරංග පෙරමුණ ගැනීමට සමත් වී තිබේ.
ඔහුගේ පස්වැනි උත්සාහය අසාර්ථක වී ඇති අතර, සිය අවසන් උත්සාහයේදී මීටර් 88.55ක දක්ෂතාවක් වාර්තා කරමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනාගත් පළමු රන් පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක් වී තිබේ.
පසුගිය ජූලි මාසයේදී ග්ලාස්ගෝව් නුවරදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේද රුමේෂ් තරංගයි.
එමෙන්ම මෙම වසරේදී ඔහු පිට පිටම දිනාගත් 10 වැනි ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලෙසද මෙය සටහන් වී තිබේ.
