ලොකු පැටී නමැත්තාගේ රු. ලක්ෂ 350ක දේපළ තහනම් කරයි…

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් නීති විරෝධී මුදලින් ලබාගෙන ඇති බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 350ක් (මිලියන 35) පමණ වටිනා දේපළවල තහනම් නියෝගයක් නිකුත් කිරීමට පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (22) නිවේදනයක් නිකුත් කර තිබේ.

විමර්ශන වලට අනුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි පර්චස් 15 ක ඉඩම හා දෙමහල් නිවස (දළ වටිනාකම රුපියල් ලක්ෂ 350 කි) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධි වත්කම් විර්මශන කොට්ඨාසය විසින් 2026.09.21 දින සිට දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවට එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා වත්කම් තහනම් කිරීමේ මෙහෙයුම්වලට සමගාමීව, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

විදේශගතව සැඟව සිටිමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවූ ඔහු, 2024 වසරේදී බෙලාරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ අතර පසුව 2025 මැයි මාසයේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. අතුරුගිරිය ප්‍රදේශයේදී “ක්ලබ් වසන්ත” (සුරේන්ද්‍ර වසන්ත පෙරේරා) නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැලසුම්කරුවෙකු සහ අනුබලදුන්නෙකු ලෙස ඔහුට චෝදනා එල්ල වී ඇත. ඩුබායි සිට දිවයිනට රැගෙන එන ලද “ලොකු පැටී” රිමාන්ඩ් භාරයේ පසුවන අතර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය සහ ගිණුම්ගත කිරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading