සලේ නෝමල් වාට්ටුවට දාලා! අයිවී ලයින් ගැලවූ පසු නිදහස් කරන බව අධිකරණයේ පෙනී සිටි ජාතික රෝහල් නි. අධ්‍යක්ෂ කියයි!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සදහා කුමන්ත්‍රණය කළේයැයි චෝදනා මත සුරේෂ් සලේ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

සුරේෂ් සලේට අයිවී ලයින් හරහා එන්නත් කිරීමට ඇති ප්‍රතිකාර අවසන් කොට මුඛයෙන් ලබාගත හැකි ප්‍රතිකාර ක්‍රම දක්වා මාරු වූ පසු ඔහුට අදාලව ජාතික රෝහලේ සිදුකරන ප්‍රතිකාර අවසන් කළ හැකි බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ මෙම නඩුව අද දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙර කළ නියෝගයක් මත මේ ආකාරයෙන් අධ්‍යක්ෂවරයා අධිකරණයේ පෙනී සිටියා.

අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයක් ඉල්ලා සිට ඇති පසුබිමක අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය ප්‍රතිකාරවල තත්වය ගැන කරුණු දැක්වීම් සිදු කළා.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, සුරේෂ් සලේ දින 100කට වැඩි කාලයක් ජාතික රෝහලේ රැදී සිටීම කුමන්ත්‍රණකාරී ස්වභාවයකින් යුක්ත බවට තමාගේ ස්ථාවරයේ වෙනසක් නොමැති නමුත්, ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රජයේ නිලධාරියෙකු වන බැවින් ඔහු වෙනුවෙන්ද තමන් අද දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවයි.

ඔහු එහිදී මේ වන විට වෛද්‍යවරුන් නව දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයක් විසින් ඔහුගේ ප්‍රතිකාර තත්වය ගැන වාර්තාවක් සකස් කර ඇති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා වෙත එම වාර්තාව ඉදිරිපත් කළා. ඔහු පෙන්වා දුන්නේ රුපියල් ලක්ෂ 40ක් පමණ වියදම් කරමින් හෘදය වස්තුවේ ඉදිමීමට අදාලව උපකරණයක් සලේ මහතාට සවි කර තිබෙන බවයි. මේ වන විට ඔහුට දන්ත ප්‍රතිකාරද ලබා දෙමින් සිටින බව ඔහු ප්‍රකාශ කළ අතර, එම ප්‍රතිකාර හේතුවෙන් දැන් ඔහුව රදවාගෙන සිටින බව පැවසුවා.

මෙතෙක් කාලයක් හෘදය ප්‍රතිකාර අංශයට අදාල දැඩි සත්කාර ඒකකයේ රදවාගෙන සිටි සුරේෂ් සලේව, අධිකරණයේදී කරුණු මතු කිරීමෙන් පසු ඊයේ දිනයේදී සාමාන්‍ය වාට්ටුවට මාරු කර ඇති බවත්, මේ වන විට 42 වැනි වාට්ටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ ඔහුව රදවාගෙන සිටින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

මෙම තත්වය පිළිබද වෛද්‍යවරුන්ගේ කමිටුවක් විසින් පරීක්ෂා කොට සැප්තැම්බර් 28 සදුදා වන විට තීරණයක් ලබා දෙනු අතැයි බලාපොරොත්තු වන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා. සලේ මහතාට වධහිංසා කිරීමේ බලාපොරොත්තුවක් හෝ ප්‍රතිකාර අහිමි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඔහු පෙන්වා දුන්නා.

මීට අමතරව දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ, සුරේෂ් සලේ මහතා මේ වන තෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ලැප්ටොප් පරිගණකයේ හා ජංගම දූරකථනයේ මුරපද ලබා දී නොමැති බවයි. මේ වන විට ඔහු විමර්ශන මගහරිමින් සිටින බව යළි සිහිපත් කළ ඔහු මේ විමර්ශන සදහා ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසුවා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඍජුවම ජාතික රෝහලේ අධයක්ෂවරයාගෙන්ද කරුණු විමසීම් කළ අතර, මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මෙබදු රෝගී තත්වයන් ඇති සාමාන්‍ය රෝගීන්ට සලකනු ලබන්නේ කෙලෙසද යනුවෙනුයි.

අධ්‍යක්ෂවරයා විසින් එහිදී ප්‍රකාශ කළේ තමාද උපදෙස් දී ඇත්තේ සාමාන්‍ය රෝගීන්ට අදාල ප්‍රතිකාර ක්‍රම ලබාදෙන ලෙස බවයි. ඔහු පෙන්වා දුන්නේ අයිවී ලයින්ස් (එන්නත්) ක්‍රමවේද හරහා තවමත් ඔහුට අදාල ඖෂධ ශරීරගත කරමින් සිටින බවයි. එම ප්‍රතිකාර අවසන් කළ පසු සලේ මහතාව නිදහස් කළ බව ඔහු පැවසුවා.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර පෙරේරා මහතා පැවසුවේ තමන් වෛද්‍ය වාර්තා අධ්‍යනය කොට ඒ පිළිබද අදහස් දැක්වීමට බලාපොරොත්තුවෙන බවයි. කෙසේ වෙතත් සුරේෂ් සලේ මහතා බුද්ධි නිලධාරියෙකු බැවින් ඔහු දිනපතා මුරපද මාරු කරන බවත්, එම නිසා සතියකට පෙර මුරපද මතකයේ නොරැදෙන බවත් ඔහු කීවා. මේ වෙද්දී මුරපද මතකයේ රැදී නොතිබීම අසාමාන්‍ය තත්වයක් නොවන බව ඔහු එහිදී පෙන්වා දුන්නා. එහෙත් එම අවස්ථාවේ ප්‍රතිචාර දක්වමින් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ මහතාව අත්අඩංගුවට ගත් මොහොතේ සිටම මුරපද ගැන විමසූ බවත්, එසේ විමසද්දී මුලින් ඔහු ලැප්ටොප් පරිගණකය දියණියගේ බව පවසා, පසුව මුරපද ලබා නොදී මගහැර ඇති බවත් එය දිගින් දිගටම කර ඇති බවත්.

නඩුව ඔක්තෝබර් 21 වැනිදා කැදවීමට නියෝග කළා.

Author

Related Posts