එස්. සිවරාස අනෝජන්ට සමාව ලබාදී ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙස සෞදි අරාබියේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන කිහිපයක් ඒකාබද්ධව නිකුත් කළ ලිපියකින් ඉල්ලීම් කර තිබේ.
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ දකුණු ආසියානු කාන්තා මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලංකා පාර්ශ්වය එම ඉල්ලීම කර ඇති මාධ්‍ය සංවිධාන අතර වේ.
අධිකරණ ක්‍රියාවලියට ගරු කරන අතරම, මෙම සිද්ධියට ගැඹුරු මානුෂීය මානයක්ද පවතින බව එම මාධ්‍ය සංවිධාන අවධාරණය කර තිබේ.
සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් නියෝජනය කරන මාධ්‍ය සංවිධාන ලෙස, සියලු ආගම්වලට ගරු කිරීම, ආගමික සහජීවනය, වගකිවයුතු මාධ්‍ය භාවිතය සහ සාමකාමී සහජීවනය වෙනුවෙන් සිය කැපවීමද ඔවුන් යළි අවධාරණය කර ඇත.
ඉස්ලාම් දහම තුළ දයාව, සමාව, පසුතැවිල්ල සහ අනුකම්පාව සඳහා ලබාදෙන වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම මානුෂීය ඉල්ලීම ඉදිරිපත් කරන බවද එහි සඳහන් වේ.
සෞදි අරාබියේ පවතින නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගමන් කරන අතරතුර, අනෝජන් සම්බන්ධයෙන් සමාව ලබාදීම සලකා බලන ලෙසත්, ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙසත් එම මාධ්‍ය සංවිධාන සෞදි නායකත්වයෙන් ඉල්ලා තිබේ.
එවැනි දයානුකම්පිත ක්‍රියාවක් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ඉමහත් ඇගයීමට ලක් කරනු ඇති බවත්, එය ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ ජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.
මේ අතර, මෙම කාරණය සම්බන්ධයෙන් අනුකම්පා සහගත විසඳුමක් ලබා ගැනීම සඳහා ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පවතින සියලු නීතිමය හා මානුෂීය මාර්ග භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන්ද එම මාධ්‍ය සංවිධාන ඉල්ලා තිබේ.
