ගන්සයිට් අපරාධයකට නාවික හමුදා නිලධාරිනියන් දෙදෙනෙක් CID අත්අඩංගුවට!

ත්‍රිකුණාමලයේදී 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ශෂිකුමාර් තේන්මොලි සහ මේරි ඩෙල්ෂියා යන කාන්තාවන් දෙදෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, නාවික හමුදාවේ සේවය කළ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (සැප්තැම්බර් 20) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීපා සඳමාලි සහ අරුණි කවුස් යන නාවික හමුදා කාන්තා නිලධාරිනියන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාව හෙට දිනයේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔවුන් දෙදෙනා මීට පෙර කෑගල්ලේ ශාන්ත නමැති පුද්ගලයා අලව්ව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකාරියන් දෙදෙනෙකි.

එම නඩුව සම්බන්ධයෙන් මේ වනවිට ඔවුන් ඇප මත සිටින අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අත්සන් කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදී තේන්මොලි සහ මේරි ඩෙල්ෂියා සම්බන්ධ වෙනම විමර්ශනයට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ලේ ශාන්තගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ, ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර තුළ පැවති බව කියන ‘ගන් සයිට්’ රහසිගත රැඳවුම් ස්ථානයේ පුද්ගලයන් නීතිවිරෝධී ලෙස රඳවා සිටීම සම්බන්ධයෙන් සිදුකරන CID විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මතය.

අප විසින් මීට පෙර කළ හෙළිදරව්වකදී අනාවරණය කළ පරිදි, මෙම නිලධාරිනියන් දෙදෙනා D.K.P. දසනායක යටතේ ක්‍රියාත්මක වූ බව කියන විශේෂ නාවික බුද්ධි කණ්ඩායමක සේවය කළ බව පිළිගෙන තිබුණි. තමන් සිදුකළේ පරිපාලන කටයුතු පමණක් බවත් Gun Site හි රඳවාගෙන සිටි පුද්ගලයන් සම්බන්ධ කටයුතුවලට සම්බන්ධ නොවූ බවත් ප්‍රකාශ කර තිබිණි. ඔවුන්ට එල්ල වූ චෝදනා ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

දැනට සිදුකරන විමර්ශනයට පාදක වී ඇත්තේ 2008 මැයි 13 වැනිදා ත්‍රිකුණාමලයේ පාලයූට්‍රි ප්‍රදේශයේදී ශෂිකුමාර් තේන්මොලි සහ මේරි ඩෙල්ෂියා යන කාන්තාවන් දෙදෙනා සුදු වෑන් රථවලින් පැමිණි පිරිසක් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය බව කියන සිද්ධියයි.

ඔවුන් දෙදෙනා කිෂෝර් කුමාර් නමැති පුද්ගලයාගේ ඥාතීන් වන අතර, එක් කාන්තාවක ඔහුගේ සහෝදරිය වන අතර අනෙක් කාන්තාව ඔහුගේ සහෝදරයාගේ බිරිඳ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔවුන් පැහැරගෙන ගොස් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර තුළ පිහිටි Gun Site රහසිගත රැඳවුම් ස්ථානයේ රඳවා තබාගෙන සිට ඇති බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති සාක්ෂි සහ ප්‍රකාශ ඔස්සේ විමර්ශන සිදුකරමින් පවතී.

ඒ අනුව, කෑගල්ලේ ශාන්තගේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි දීපා සඳමාලි සහ අරුණි කවුස් යන දෙදෙනා, දැන් තේන්මොලි සහ මේරි ඩෙල්ෂියා සම්බන්ධ සිද්ධියටද සැකපිට අත්අඩංගුවට ගැනීම, Gun Site තුළ සිදුවූ බව කියන නීතිවිරෝධී රඳවා තැබීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ CID විමර්ශනයේ තවත් වැදගත් වර්ධනයකි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading