තායිලන්තයට යන්න ආයෙමත් වීසා ඕනේ

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවීමට ලබා දී තිබූ අවස්ථාව එළැඹෙන 15 වැනිදා සිට අහෝසි වන බව කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම දින සිට තායිලන්තය බලා පිටත්ව යාමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකික සංචාරකයන් දිවයිනෙන් පිටත්වීමට පෙර අනිවාර්යයෙන්ම වලංගු වීසා බලපත්‍රයක් ලබාගත යුතු බව තානාපති කාර්යාලය අවධාරණය කළා.

තායිලන්ත රජය විසින් සිය වීසා ප්‍රතිපත්තියේ සිදුකළ නවතම සංශෝධනයක් මීට හේතු වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21ක පුරවැසියන්ට මෙතෙක් හිමිව තිබූ වීසා රහිත සංචාරක පහසුකම අහිමි වී තිබෙනවා..

මීට පෙර 2024 වසරේ ජූලි මාසයේදී තායිලන්තය හඳුන්වා දුන් ලිහිල් වීසා ක්‍රමවේදය යටතේ රටවල් 93ක සංචාරකයන්ට දින 60ක කාලයක් සඳහා පූර්ව වීසා බලපත්‍රයකින් තොරව එරටට ඇතුළු වීමට අවසර ලැබී තිබුණා.

කෙසේ වෙතත් ක්‍රියාත්මක කෙරෙන නව සංශෝධනවලට අනුව වීසා රහිතව ඇතුළු විය හැකි රටවල් සංඛ්‍යාව 60ක් දක්වා අඩු කර ඇති අතර එම රටවල වැසියන්ට එරට රැඳී සිටිය හැකි උපරිම කාලසීමාවද දින 30ක් දක්වා කප්පාදු කර තිබෙනවා.

අදාළ ප්‍රතිපත්ති සංශෝධනය පසුගිය 31 වැනිදා එරට කැබිනට් මණ්ඩලය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය එළැඹෙන 15 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වීමට නියමිතයි.

කෙසේවෙතත් එළැඹෙන 14 වැනිදා දක්වා තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන්ට පෙර පැවති ක්‍රමවේදය යටතේ දින 60ක කාලයක් සඳහා වීසා රහිතව සංචාරය කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා.

තායිලන්තයට සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක නිල ‘තායි ඊ-වීසා’ පද්ධතිය හරහා පහසුවෙන් වීසා අයැදුම් කිරීමේ පහසුකම පවතින බව කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Author

Related Posts