සීනි සමාගම පාඩු ලැබුවේ වැට් බද්ද නිසා! දුඹුරු සීනි කඩේ ගැන සුනිල් හඳුන්නෙත්ති හෙළි කළ දේ මෙන්න!

ලංකා සීනි සමාගම පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ වැට් බද්ද පැනවීම බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (07) පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,පසුගිය පාලන සමයන්හිදී සීනි සමාගම ලාභ ලබන බව පෙන්වුව ද 2024 වසරේදී වැට් බද්ද ක්‍රියාත්මක වීමත් සමඟ එම පාලනය යටතේම සමාගම රුපියල් බිලියන 2.2ක දැවැන්ත පාඩුවක් ලැබූ බවත් වැට් බද්ද මෙහි මූල්‍ය අර්බුදයට සෘජුවම බලපෑ ප්‍රධාන සාධකයක් වූ බවයි.

එමෙන්ම මීට පෙර නාවල දුඹුරු සීනි ප්‍රවර්ධන අලෙවිසැල වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට සීනි සමාගම නිවේදනයක් නිකුත් කළද එක් දිනක් එය වසා තැබීමට හේතුව ලෙස එහි විකුණුම් සේවකයා අසනීප වීම දැක්වීම පිළිබඳව මාධ්‍යවේදියා විසින් එහිදි අමාත්‍යවරයාගෙන් විමසා සිටියා .

විශාල රාජ්‍ය ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක එක් සේවකයෙකු රෝගී වූ පමණින් ජනතාවට දුඹුරු සීනි ලබාගැනීමට නොහැකි වන සේ අලෙවිසැල සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවන්නේ මන්දැයි මාධ්‍යවේදියා විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙය හුදෙක් එක් කඩයක සීනි පමණක් විකිණීමේ අරමුණින් නොව දුඹුරු සීනි, හකුරු සහ බීම වර්ග වැනි අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කළ එකක් බවයි.

ඉන් අනතුරුව අමාත්‍යවරයාගෙ එම පිළිතුරට මැදිහත් වූ මාධ්‍යවේදියා, වසරක් ගතවීත් එම අරමුණු ඉටු නොවී අලෙවිසැල දුඹුරු සීනිවලට පමණක් සීමා වී ඇති බවත් එය වසා තිබූ බව සමාගමද පිළිගෙන ඇති බවත් එහිදි පෙන්වාදුන්නා.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අලෙවිසැල කිසිදු දිනක ආයතනයක් ලෙස සම්පූර්ණයෙන් වසා නොදැමූ බවත් එහි සේවය කරන්නේ සේවකයන් දෙදෙනෙකු පමණක් බැවින් ඔවුන් දිවා ආහාරය ගන්නා වේලාවට වසා තිබූ මොහොතක කෙනෙකුට වැරදි සහ අඩුපාඩු සෙවීමේ අරමුණින් එවැනි කතා පැවසිය හැකි බවයි

එවිට මාධ්‍යවේදියා වහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙය වැරදි සොයන අයගේ කතාවක් නොව සේවකයෙකු අසනීප වූ බැවින් එක් දිනක් අලෙවිසැල වසා තබන බවට සීනි සමාගම විසින්ම නිල නිවේදනයක් මඟින් තහවුරු කර ඇති කරුණක් බවයි.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා, අදාළ දිනයේ කඩය වසා ඇති බවට ෆේස්බුක් ඔස්සේ ඡායාරූප පළවීම නිසා, එදින එය වසා තැබීමට සිදුවූයේ අදාළ සේවකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් බව පැහැදිලි කරමින් සමාගම එම නිවේදනය නිකුත් කළ බව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අලෙවිසැල පාඩු ලබන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ එහි මූල්‍ය වාර්තා ද ඉදිරිපත් කළා.

ඒ අනුව වසර ආරම්භයේ ජනවාරි මාසයේදී රුපියල් ලක්ෂ 12ක ආදායමක් මත රුපියල් 162,000ක ශුද්ධ ලාභයක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් ලක්ෂ 16ක ආදායමක් මත රුපියල් 386,000ක ශුද්ධ ලාභයක් උපයමින් මෙම අලෙවිසැල ස්ථාවර මූල්‍ය වර්ධනයක් පෙන්නුම් කළ බව අමාත්‍යවරයා පවසනවා.

අනතුරුව මාර්තු මාසයේදී රුපියල් ලක්ෂ 29ක ඉහළම ආදායමක් සහ රුපියල් 750,000ක උපරිම ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බවත් අප්‍රේල් මාසයේ ආදායම රුපියල් ලක්ෂය දක්වා පහත වැටුණද එහි රුපියල් 187,000ක ශුද්ධ ලාභයක් සටහන්ව තිබූ අතර, මැයි සහ ජූනි මාසවල පිළිවෙළින් රුපියල් ලක්ෂ 21ක සහ ලක්ෂ 15ක ආදායමක් වාර්තා කරමින් ජූලි මාසය වන විට ආදායම රුපියල් ලක්ෂ 25ක් දක්වාත් ලාභය රුපියල් 694,000ක් දක්වාත් නැවත විශාල ලෙස ඉහළ ගොස් ඇති බව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම ස්ථානය වෙනුවෙන් මාසිකව ගෙවන්නේ රුපියල් 85,000ක කුලියක් බවත් සේවකයන් දෙදෙනා සඳහා වැටුප් ගෙවන්නේ ආයතනයෙන් සාමාන්‍ය පරිදි බැවින් අමතර විශාල පිරිවැයක් නොමැතිව මෙම ප්‍රවර්ධන මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් ඔහු පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, සුදු සීනි හැඳි දෙකක පැණි රසය දුඹුරු සීනි හැඳි භාගයකින් ලබාගත හැකි බවත් රසායනික ද්‍රව්‍ය අවම බැවින් එය සෞඛ්‍යයට හිතකර බවයි.

සුදු සීනි සහ දුඹුරු සීනි අතර පවතින්නේ සුළු මිල වෙනසක් පමණක් බව පෙන්වා දුන් ඔහු, සාමාන්‍ය ජනතාවට සුදු සීනි මිලටම දුඹුරු සීනි ලබාදීමට කටයුතු කළහොත් ජනතාව දුඹුරු සීනි තෝරාගන්නා බවද එහිදි කියා සිටියා.

මේ අතර සීනි සමාගම මුහුණ දී සිටින බිලියන 3කට වැඩි සමස්ත පාඩුව පියවා ගැනීම සඳහා විදුලි පිරිවැය අවම කරගැනීම සඳහා සූර්ය බලශක්තියට මාරු වීම, පර්යේෂණ සහ නවීකරණ කටයුතු සඳහා බ්‍රසීලය සමඟ ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම, උක් පැණි, හකුරු සහ අනෙකුත් අතුරු නිෂ්පාදන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීම සහ අපනයන වෙළෙඳපොළට පිවිසීම යනාදි විවිධාංගීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම කර්මාන්තශාලා ආශ්‍රිත පරිශ්‍ර සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීම මෙන්ම යන්ත්‍රෝපකරණ නවීකරණය සඳහා ආයෝජකයන් එක්කර ගැනීමද ඊට ඇතුළත් බව ඔහු පවසනවා.

තම පාලනය යටතේ කිසිදු නාස්තියක් හෝ හොරකමක් සිදු නොවන බවත් එප්පාවල පොස්පේට් සහ කහටගහ මිනිරන් වැනි ඈවර කිරීමට ගිය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ ආකාරයෙන්ම සීනි සමාගමද භාණ්ඩාගාරයට බරක් නොවන තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading