ගබ්සා වීමක් හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කරන ලද 33 හැවිරිදි දෙදරු මවකට ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් පසු මියගොස් තිබේ.
සෙෆොරොක්සින් නැමැති අදාළ එන්නත ලබා දීමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුව ඇතුළු ලක්ෂණ ගණනාවක් මතුවීමෙන් පසු අදාළ කාන්තාව මියගොස් තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
තෙමස් ගැබිණියක වන අදාළ කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී ජයසූරිය මහතා විසින් පවත්වනු ලැබීය.
අදාළ එන්නත ශරීරගත වීමෙන් ඇතිවූ ආසාත්මිකතාව හේතුවෙන් මරණය සිදුව තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා ශරීර කොටස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකර තිබේ.
මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය ගම්පොළ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලීන් මැදිවක මහතා විසින් පවත්වනු ලැබීය. ඉදිරිපත් වූ සාක්කි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට මැදිවක මහතා පියවර ගත්තේය.
මළ සිරුර ඉඟුරුවත්ත පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා මියගිය කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.
