එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ‘Palais des Nations’ හිදී අද (07) ආරම්භ වන අතර, එය ඔක්තෝබර් 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. සැසිවාරයේ ආරම්භක දිනය වන අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අදහස් දැක්වීමට නියමිතය.
මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී මෙරට සිදුවූ මානව හිමිකම් සම්බන්ධ තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. මීට අමතරව ඇෆ්ගනිස්ථානය, සුඩානය, වෙනිසියුලාව සහ මැදපෙරදිග කලාපයේ පවතින මානව හිමිකම් අර්බුද පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙහිදී කරුණු දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
අධිකරණයේ නඩු ගොඩගැසීම වැළැක්වීම සහ අධිකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ශ්වය පෙන්වා දෙනු ඇත. එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම, දේශීය වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ මෑතකදී ඇතිවූ බන්ධනාගාර නොසන්සුන්තාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන නිත්‍ය සැසිවාරයේදී (HRC63) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිඛිත යාවත්කාලීන වාර්තාව (A/HRC/63/18) මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ සංහිඳියාව, වගවීම, නීතිමය ප්‍රතිසංස්කරණවල පවතින මන්දගාමීත්වය සහ මානව හිමිකම් සුරැකීම පිළිබඳ කාරණා කෙරෙහිය.
කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60/1 යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කරන ලද නවතම ලිඛිත යාවත්කාලීන වාර්තාවක් මගින් මෙරට වගවීම, සමගිය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම් ඇනහිටීමේ අවදානමක් පවතින බව පෙන්වා දී තිබේ.
2025 නොවැම්බර් මාසයේ ඇති වූ විනාශකාරී දිට්වාහි බලපෑම මෙන්ම බටහිර ආසියාතික සන්නද්ධ ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව දැඩි අභියෝගවලට මුහුණ දුන් බව සඳහන් කරන එම වාර්තාව, ඇතැම් ආදර්ශමත් නඩු සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමටත්, ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් රජය පොරොන්දු වී තිබුණද, පරිවර්තනීය වෙනසක් සඳහා පැවැති වේගය මේ වන විට ගිලිහී යමින් පවතින බව අවධාරණය කරයි. එබැවින් සත්‍යය, සාධාරණත්වය, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද අදාළ වන වැදගත් නිර්දේශ කිහිපයක් මෙම වාර්තාව ඔස්සේ ඉදිරිපත් කර තිබුණි. එම කාරනා සම්බන්ධයෙන්ද මෙම සැසි වාරයේදී ලංකාවට අදාළව අවධානය යොමු කරනු ඇතැයි පැවසේ.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා විසින් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට අදාළ ශ්‍රී ලංකාවේ නිල ප්‍රතිචාරය කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සැසිවාරයේදී, මණ්ඩලය විසින් විශේෂ ක්ෂේත්‍ර නියෝජිතයන්, විශේෂඥ යාන්ත්‍රණ, විමර්ශන යාන්ත්‍රණ මෙන්ම මහ කොමසාරිස්වරයා, ඔහුගේ කාර්යාලය සහ මහලේකම්වරයාගේ වාර්තා හා යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් අන්තර්ක්‍රියාකාරී සංවාද 37 ක් පවත්වනු ඇත.
සැසිවාරය අතරතුර මණ්ඩලය විසින් පැනල සාකච්ඡා හයක් පවත්වනු ලබන බව පැවසේ.
- අසමානතාවලට විසඳුම් සෙවීමේ සන්දර්භය තුළ ආර්ථික, සාමාජික සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම.
- සංවර්ධනය සඳහා වන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ 40 වන සංවත්සරය.
- මානව හිමිකම් අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයේ 15 වන සංවත්සරය.
- මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්හි (International Covenants on Human Rights) 60 වන සංවත්සරය.
- දේශීය ජනතාවගේ (Indigenous Peoples) අයිතිවාසිකම්.
- මණ්ඩලයේ සහ එහි යාන්ත්‍රණයන්හි කටයුතු පුරා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ (gender perspective) අන්තර්ගත කිරීම.
මීට අමතරව, ප්‍රමාණවත් කාලගුණික මූල්‍යකරණයක් රැස්කිරීමේ ක්‍රියාකාරී මාර්ග පිළිබඳ වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව සිදුවන පළිගැනීම් පිළිබඳ වාර්තාව ඇතුළත්ව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ රටවල් සහ තේමාත්මක වාර්තා ඉදිරිපත් කිරීම් ද මණ්ඩලය විසින් සිදුකරනු ඇත.
