සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ වැළැක්වීම අරමුණු කරගනිමින් සකස් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙන්ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මීට පෙර 2026 මාර්තු 30 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.

මෙම නව පනත මඟින් ජාතික සීමා ඉක්මවා සිදුවන සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ශ්‍රී ලංකාව තුළ සක්‍රීයව බලාත්මක කිරීම සඳහා අදාළ නීතිමය විධිවිධාන සැලසෙනු ඇති බව පැවසේ. එසේම, ඵලදායී ජාතික හා අන්තර්ජාතික සහයෝගිතාව තහවුරු කරමින් බරපතල අපරාධ වැළැක්වීමට සහ ඊට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගැනීමටත්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මඟින් මහජනතාවට සහ සමාජයට එල්ල වන විවිධ තර්ජනවලින් පුරවැසියන් ආරක්ෂා කරමින් සමාජ ආරක්ෂණය තහවුරු කිරීමටත් මෙමඟින් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත ඉදිරි දිනවලදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, අනතුරුව සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading