මීට පෙර භාණ්ඩාගාරයට ලැබීමට නියමිතව තිබූ රාජ්‍ය ධනය එයට බැරවීමට පෙර මෙන්ම බැරවීමෙන් පසුවද විවිධ රහසිගත මාර්ග ඔස්සේ පුද්ගලික පරිහරණයට ගලාගිය ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නතර කර එම සියලු මුදල් සෘජුව භාණ්ඩාගාරය වෙත හරවා ගැනීමට වත්මන් රජය සමත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (06) බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බදු මුදල්, රාජ්‍ය ගාස්තු සහ ඉඩම් බදු දීම් හරහා භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම වෙනත් මාර්ග ඔස්සේ කාන්දු වීම නතර කිරීම තුළින්, වසර 30කට පසුව දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.7%ක වැඩිම ආදායම 2025 වසරේදී වාර්තා කිරීමට රජයට හැකි වූ බවයි.
මෙරට ජනතාව අසීරුවෙන් උපයන ලද ඩොලර් රහසිගත මාර්ගයයෙන් පිටරටට පන්නමින් නිර්මාණය කර තිබූ කළු ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් පමණ වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය සමස්ත තේ අපනයනයෙන් රටට ලැබෙන මුදලට සමාන අගයක් බව සඳහන් කළා.
මේ වන විට කලබලයට පත්ව ඇත්තේ එම රහසිගත ජාවාරම්වලින් ප්‍රතිලාභ ලැබූ පාර්ශ්වයන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව මැදිහත්වී සිදුකළ මෙහෙයුම් හරහා ඩොලර් කළු ආර්ථිකයට කාන්දු වීම මුළුමනින්ම නතර කර දැමූ බවත් ජනාධිපතිවරයා පවසනවා.
අතීතයේදී ශක්‍යතා අධ්‍යයනයකින් තොරව හිතුමතේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් හදමින් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් නාස්ති කළ ආකාරය විවේචනය කළ ජනාධිපතිවරයා, වත්මන් පාලනය යටතේ රාජ්‍ය වියදම් උපරිම සකසුරුවමින් කළමනාකරණය කළ බව පෙන්වාදුන්නා.
ජනාධිපතිවරයා පවසන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස 1957 වසරෙන් පසුව මෙරට වාර්තා වූ අඩුම අයවැය හිඟය පවත්වා ගැනීමට රජය සමත් වී ඇති බවයි.
රාජ්‍ය වියදම් අතරින් වැදගත්ම අංශය වන ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ දැවැන්තම මුදල බවත් ජනාධිපතිවරයා පවසනවා.
මීට අමතරව “අයවැයෙන් මුදල් වෙන් කර නැතැයි” පවසමින් ප්‍රාදේශීය සංවර්ධනය ඇණහිටීම වැළැක්වීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම දිසාපතිවරයා වෙත රුපියල් කෝටි 200 බැගින් වූ විශේෂ සංචිතයක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිතිවරයා සඳහන් කළා.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ අනුමැතිය මත හදිසි අවශ්‍යතාවලදී එම මුදල් සෘජුවම ග්‍රාමීය සංවර්ධනයට යෙදවීමට ඉඩ සැලසෙන බව පැවසූ ජනාධිපතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ආදායම නිසි පරිදි කළමනාකරණය කරමින් ජනතාව වෙත ලබාදුන් සෘජු සුබසාධන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළා.
ඒ අනුව ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ලබාදුන් රුපියල් 5,000ක මාසික දීමනාව රුපියල් 10,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බවත් වැඩිහිටි පුරවැසියන් සඳහා මීට පෙර ලබාදුන් රුපියල් 3000ක මාසික දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළ නංවා ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා.
මෙම සුබසාධන වැඩපිළිවෙළ යටතේ ගත් වඩාත්ම මානුෂීය සහ ඓතිහාසික පියවර පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මව්පිය රැකවරණය අහිමිව ළමාරක්ෂක නිවාසවල සහ අවතැන් මධ්‍යස්ථානවල ජීවත්වන අසරණ දරුවන් වෙනුවෙන් මීට පෙර කිසිදු රජයකින් සෘජු මූල්‍ය දීමනාවක් ලබා දී නොතිබූ බව පෙන්වාදුන්නා.
එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, එවැනි රැකවරණ මධ්‍යස්ථානවල වෙසෙන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් සෑම මසකම රුපියල් 5,000 බැගින් වූ දීමනාවක් ඔවුන්ගේම බැංකු ගිණුම්වලට බැර කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
