පාසල් ලාංඡනය භාවිත කරමින් පවත්වන මහා ක්‍රිකට් තරග (Big Matches) ඇතුළු කිසිදු වැඩසටහනකදී හෝ උත්සවයකදී මත්පැන් මෙන්ම කිසිදු ආකාරයක මත්ද්‍රව්‍යයක් භාවිත කිරීම හා ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී, මාර්ගෝපදේශන සහ උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, එය උල්ලංඝනය කරන උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට පූර්ණ බලය පවතින බවයි.
විශේෂයෙන්ම ද්විතීයික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, ප්‍රධාන පාසල් ආශ්‍රිතව පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සඳහා පෙළඹෙන බවට දෙමව්පියන්ගෙන් දිගින් දිගටම බරපතළ චෝදනා එල්ල වන බව සඳහන් කළා.
පාසල නියෝජනය වන පරිදි පාසලේ නිල ලාංඡනය භාවිත කරමින් පවත්වන ඕනෑම උත්සවයක් පාසල් උත්සවයක් ලෙස නීත්‍යානුකූලව සැලකෙන බව පැවසූ මහේෂ් රත්නායක මහතා, ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසල් ආශ්‍රිත සියලුම සංවිධාන සංවිධානය කරන එවැනි උත්සවවලදී කිසිදු ආකාරයක මත්වතුර හෝ මත්ද්‍රව්‍යයක් භාවිත නොකළ යුතු බවට විශේෂ චක්‍රලේඛයක් මඟින් දැනටමත් දැඩි නියෝග පනවා ඇති බවත්, එම ක්‍රියාවලිය දැඩි අධීක්ෂණයකට ලක්කරන බවත් කියා සිටියා.
මීට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තාක්ෂණික දායකත්වය ඇතිව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය තර්ජනය අධික ප්‍රදේශවලින් තෝරාගත් පාසල් 50ක සිසුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මහේෂ් රත්නායක මහතා මහේෂ් රත්නායක මහතා සඳහන් කළා.
ඔහු පවසන්නේ, එහි පළමු පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි කොළඹ විජයබා විද්‍යාලයෙන් මෙම නියමු වැඩසටහන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවයි.
එමෙන්ම දරුවෙකු මත්ද්‍රව්‍ය අවදානම අධික ප්‍රදේශයක ජීවත් වුවද පවුලේ සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිත කරන හෝ ඊට නැඹුරුවක් ඇති පසුබිමක හැදී වැඩුණද, කිසිදු බාහිර බලපෑමකට හසු නොවී මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කළ හැකි ශක්තිමත් පෞරුෂයක් දරුවන් තුළ ගොඩනැගීම මෙහි මූලික අරමුණ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා පවසනවා.
කොළඹ විජයබා විද්‍යාලයේ නියමු වැඩසටහනෙන් ලබාගන්නා අත්දැකීම්, දත්ත සහ සිසුන්ගේ ප්‍රතිචාර පදනම් කරගනිමින්, විශේෂඥ උපදෙස් සහිතව සකස් කෙරෙන මෙම වැඩසටහන 2027 වසරේදී සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බවද මහේෂ් රත්නායක මහතා සඳහන් කළා.
ඒ අනුව මෙරට අධ්‍යාපන විවිධත්වයට ගැළපෙන නිශ්චිත විෂය නිර්දේශයක් සහ මාර්ගෝපදේශ මාලාවක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට හඳුන්වා දීමට නියමිත අතර දැනට මත්ද්‍රව්‍යවලට යොමු නොවූ නමුත් අනාගතයේදී එවැනි අවදානමක් ඇති සමස්ත ශිෂ්‍ය පරපුරම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු මුළු මහත් සමාජයේම පූර්ණ සහයෝගය මේ සඳහා අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
